රාජපක්ෂවරුන් සොරකම් කළ බවට තමා මීට පෙර පැවසූයේ මහින්ද රාජපක්ෂ මහතා හොරකම් කළ බවක් නොව ඔහු වටා සිටි අය සොරකම් කළ බව යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (22දා) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.
තමා එක ඩොලරයක් හෝ හොරකම් කළා යැයි ඔප්පු කළහොත් උගුරු දණ්ඩ කපා ගන්නා බවට මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා කළ ප්‍රකාශය පිළිබඳ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ තමන් මහින්ද හොරකම් කළේ යැයි නොකී බවයි.
"මම කොහෙද මහින්ද රාජපක්ෂ ගැන චෝදනා කළේ. අපි හොඳට දන්නවා හොරකම් කළේ කවුද කියලා. මම කියලා නැහැ මහින්ද හොරකම් කළා කියලා. රාජපක්ෂලා කිව්වාම තව ඉන්නවා බර ගානක්. මහින්ද රාජපක්ෂට චෝදනා තවම නැහැ. එයාම කරන්න ඕන නැහැනේ. පවුලේ අය කළාම ඇති. එයාට කියලා පෞද්ගලිකව තවම නැහැ" යැයි කීය.
මේ අතර පාර්ලිමේන්තුවේදී පිළිතුරු දීම සඳහා අගමැතිවරයා විසින් නිතරම සරත් ෆොන්සේකා මහතාට අවස්ථාව දෙන්නේ ඇයිදැයි මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේ රාජිත ඇමතිවරයා පැවසුවේ, ආරක්ෂක කාරණාවලට අදාළව පිළිතුරු දීම සඳහා අගමැතිවරයා එලෙස අවස්ථාව ලබාදෙන බවයි.
ඒකාබද්ධ විපක්ෂය දුර්වල කිරීමෙන් ආණ්ඩුවේ කටයුතු නිසි ලෙස කරගැනීමට හැකියාව ඇති බවත්, ඉන් ජනතාවට සේවය කිරීමට ලැබෙන අතරම බලය පවත්වා ගැනීමටද ඉඩ ලැබෙන බවත් සේනාරත්න මහතා එහිදී ප්‍රකාශ කළේය.