හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (05දා) පැවැති බව වාර්තා වේ.
පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අගමැතිවරයාගේ කාර්යාලයේ මිනිත්තු 20ක පමණ කාලයක් පැවති මෙම සාකච්ඡාවේදී රටේ ආරක්ෂක තත්ත්වය සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා නිලධාරීන් ඉවත්කොට ඒ සඳහා පොලිස් නිලධාරීන් යෙදවීමට තීරණයක් ගෙන තිබීම පිළිබඳව සාකච්ඡා කර තිබේ.
මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පැවති පාර්ලිමේන්තු සභා වාරයට සහභාගි නොවී මෙම සාකච්ඡාවට සම්බන්ධ වීමට පමණක් පාර්ලිමේන්තුවට ගොස් තිබුණි.
මෙම අවස්ථාවට මහින්ද රාජපක්ෂ මහතා සමග පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාද, අගමැතිවරයා සමග මලික් සමරවික්‍රම ඇමතිවරයාද එක්ව සිටි බව වාර්තා වේ.
මේ පිළිබඳව කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පැවසුවේ, මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා ඇති හමුදා නිලධාරීන් ඉවත් කර ඒ සඳහා පොලීසිය යෙදවීම සම්බන්ධව මෙහිදී අගමැතිවරයාගේ අවධානය යොමුකළ බවයි.
රටේ හමුදාව භාරව සිටින්නේ අගමැතිවරයා නොව ජනාධිපතිවරයා බවත්, පොලීසිය භාරව සිටින්නේ අගමැතිවරයාගේ ඇමතිවරයෙකුට බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මේ අතර ආරක්ෂක අමාත්‍යාංශය පාර්ශ්වයෙන් වාර්තා වූයේ සියලු ප්රභූන්ගේ ආරක්ෂාව සඳහා හමුදාව ඉවත්කර පොලීසිය යෙදවීමට ආරක්ෂක මණ්ඩලයේදී තීරණයක් ගෙන ඇති බවයි. එම තීරණය ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු සියලු ප්රභූන්ට අදාළ බවද එම අමාත්‍යාංශය කියයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා හමුදාවේ 89 දෙනෙකු යොදවා තිබූ අතර, ඉන් 12 දෙනෙකු නිලධාරීහු වූහ. මෙම සතියේ සිකුරාදා (08දා) වනවිට ඉන් 50 දෙනෙකු ඉවත් කරන බවටත්, ඉතිරි පිරිස ඉදිරියේදී ඉවත් කරන බවටත් ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක් ලැබී තිබෙන බව හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වය පවසයි.