හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිතරම බහුජාතික සමාගම් වෙනුවෙන් පමණක් පෙනී සිටි බවත්, ඉදිරි මැතිවරණවලදී බාර්කාරයන්, බුකීකරුවන්, කුඩු විකුණන්නන්ට නාමයෝජනා දෙන මොනම පක්ෂයක් සමග හෝ සන්ධානගතව කටයුතු නොකරන බවත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හෙල උරුමයේ සභාපති අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (20දා) මීරිගම යොවුන් නිකේතනයේදී පැවති පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාවේ ගම්පහ දිස්ත්‍රික් මීරිගම සමුළුව අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රතන හිමි,
" මනාප ක්‍රමයෙන් සුළු පක්ෂවලට නියෝජනයක් ලැබීම වැදගත් දෙයක් වුවත් ප්‍රධාන පක්ෂවලින් පාර්ලිමේන්තුවට ගියේ සල්ලි තියෙන කෙරුම්කාරයන් විතරයි. එහෙම නැතිනම් දේශපාලනයෙන් සල්ලි හොයාගත් අයයි. අද සාමාන්‍ය මිනිහාට පාර්ලිමේන්තුවට යන්න බැහැ.
පසුගිය කාලේ දූෂීත මැතිඇමතිවරු වැඩක් නොකළ පක්ෂ දෙකේම අය ඉවත් කිරීම, ජනතාව ගැන නොහිතපු අය පරාජයට පත් කිරීමේ අවස්ථාව ඉදිරි මැතිවරණ ක්‍රමයෙන් යළි ජනතාවට ලැබෙනවා. අවශ්‍ය අවස්ථාවන්ට කෑගහන විවේචන කරන බලය නොලබන ජනතා විමුක්ති පෙරමුණත් ඉන්න ඕනෑ. සියයට පහක්ව තිබුණු සුළු පක්ෂ අනුපාතය සියයට තුන දක්වා අඩු කෙරෙනවා. අනුපාත ක්රමයේ වැදගත් ලක්ෂණ රැකගන්න ඕනෑ.
ඒ වුනත් අද විසිවැනි සංශෝධනය සම්මත කර ගන්න අමාරුයි. එක් එක් අය හොරගල් අහුලනවා. උප්පරවැට්ටි දානවා. එජාපය මේකට අකමැතියි. ඒ අය හකීම් ඉදිරියට දානවා. නොකෙරෙන තැනටයි වැඩ කරන්නේ. මැයි මාසේ මේක සම්මත කරලා ජූනි වෙකොට මේ පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන්කම තිබුණා. මේ පාර්ලිමේන්තුව ඉක්මනින්ම විසුරුවා හැරිය යුතුයි. මේ ස්වර්ණමය අවස්ථාව මගහැරුණොත් කවදාවත් කරන්න බැහැ.
ගැටලු හා ප්‍රශ්න තිබුණත් පක්ෂ දෙකක් එකතු කරගන්න පුළුවන් නායකයෙක් අද අපට ඉන්නවා. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ විස්ස සම්මත කරදෙයි කියා විශ්වාසයක් තියෙනවා.
බාර් තියෙන, කුඩු විකුණන, පාදඩ දේශපාලනයේ යෙදුණු අය ගෙදර යවන්න ඕනෑ. ඉදිරි මැතිවරණයේදී එවැනි පුද්ගලයන්ට නාමයෝජනා දෙන පක්ෂ එක්ක අපි සන්ධානගත වෙන්නෙත් නැහැ. හොඳ පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අධිවේගී පාරවල්වලට යෙදවූ මුදල් දුම්රිය මාර්ග පද්ධති වැඩිදියුණු කරන්න යෙදුවා නම් ජනතාවට විශාල සේවයක් වෙන්න තිබුණා. මහින්ද රාජපක්ෂ පෙනී සිටියේ බහුජාතික සමාගම් වෙනුවෙන් පමණයි. මොන පක්ෂයේ වුවත් රටට හොඳ හෙටක් ඇති කරන්න පිවිතුරු හෙටක් සමග අත්වැල් බැඳගන්න කියා ඉල්ලනවා." යැයි පවසා සිටියහ.
මීරිගම කාන්ති