මහජන දිනයට එන පිරිසට පහරදීම යහපාලනයද?
මහජන දිනයේදී ඇමතිවරයා මුණගැසීමට අමාත්‍යාංශයට එන පිරිසට පොලුවලින් හිසට පහරදී එළවීම යහපාලනය දැයි ආණ්ඩුවෙන් විමසීමට සිදුවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (22දා) පැවසීය.
ඊයේ (21දා) මහජන දිනයක් බැවින් වෛද්‍ය ශිෂ්‍යයන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ගියේ විෂය භාර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මුණගැසීමට බවත්, ඇමතිවරයා මගහැර ගොස් සිටීම හේතුවෙන් සිසුන් සියලු දෙනාට අමාත්‍යාංශය තුළට යෑමට සිදුවූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ අද (22දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා,
“මේ රටේ අනාගතය සුවපත් කිරීමට සිටින වෛද්‍ය ශිෂ්‍යයන්ට ඉතා අමානුෂික ලෙස ප්‍රහාරයක් එල්ල කරලා වෛද්‍යවරුන් ලෙස රෝහල්ගත වෙන්න සිටින වෛද්‍ය ශිෂ්‍යයන්ට රෝගීන් ලෙස රෝහල්ගත වෙන්න සිදුවීම ඉතාම ශෝචනීය තත්ත්වයක්. ඊයේ දවස බදාදා දවසක්. බදාදා දවස කියන්නේ ඇමතිවරුන්ගේ මහජන දිනය.
මහජන දිනය පැවැත්වෙන අවස්ථවේදී අමාත්‍යවරයා හමුවන්න ශිෂ්‍ය නියෝජිතයන් පිරිසක් අමාත්‍යංශයට ඇතුළු වුණා. අනිත් ශිෂ්‍යයන් එළියේ රැඳී සිටියා. මහජන දිනයේ ඇමතිවරයා හමුවෙන්න ගිය ශිෂ්‍ය නියෝජිතයන්ට ඇමතිවරයා මුණගැහෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ.
ඒ අනුව තමයි අනෙකුත් ශිෂ්‍යයො අමාත්‍යාංශයට ඇතුළු වෙන්න තීරණය කරන්නේ. කලින් දැනුම් දීමකින් තොරව, කලින් වේලාවක් වෙන්කර ගැනීමකින් තොරව එදාට ඕන කෙනෙකුට අමාත්‍යාංශයට ඇතුළු වෙන්න පුළුවන්.
මේ රටේ පුරවැසියෙකුට ඇමතිවරයා හමුවීමට තියෙන අයිතිය පාවිච්චි කරමින් තමයි ශිෂ්‍යයො අමාත්‍යාංශයට ඇතුළු වුණේ. මහජන දිනයට එන පිරිසට පොලුවලින් හිසට පහරදී එළවීමද යහපාලනය කියන ප්රශ්නය අපට ආණ්ඩුවෙන් අහන්න සිදුවෙනවා" යනුවෙන් පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

