ගෙවීගිය මාස 13කට ආසන්න කාලයක් තුළ මහ බැංකුව නිකුත් කළ බැඳුම්කර පිළිබඳව ප්‍රකාශ ලබාගැනීම සඳහා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මුදල් මණ්ඩලය සහ මහ බැංකු නිලධාරීන් කෝප් කමිටුවට අද (07දා) කැඳවා තිබේ. හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ පාලන කාලය තුළ බැඳුම්කර නිකුත් කිරීමේදී යම් යම් ගැටලු ඇති වූ බවට පසුගිය කාලය පුරාම විවිධ පිරිස් විසින් ප්‍රකාශ කරනු ලැබිණි.
මේ නිසා ඒ පිළිබඳව සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙසට විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්ද කෙරුණු අතර, එම ඉල්ලීමට අනුව විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් පසුගිය 29 වැනිදා පිටු 1251කින් යුත් වාර්තාවක් කෝප් කමිටුවට බාරදෙනු ලැබිණි. මීට අමතරව විගණකාධිපති දෙපාර්තමේන්තුව සකස් කළ වාර්තාව පිළිබඳව සම්පිණ්ඩන වාර්තාවක් 05 වැනිදා බාර දී ඇතැයි වාර්තා වන අතර, එම වාර්තාව ලබාදීමට සමගාමීව අදාළ වාර්තාව පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුව කෝප් කමිටුව දැනුවත් කර තිබේ.
අදාළ කාලසීමාව තුළ සිදුකළ බැඳුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් මිලියන 1200කට ආසන්න මුදලක් අහිමි වී තිබෙන බවටත් සිවිල් සංවිධාන මේ වනවිට ප්‍රකාශ නිකුත් කරමින් සිටියි. අදාළ කාලසීමාව තුළ සිදුකළ බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් ලබාදුන් වාර්තාව පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් පසු, ඒ පිළිබඳව ප්‍රකාශ ලබාගැනීම සඳහා අද (07දා) හිටපු මහ බැංකු අධිපතිවරයා සහ මුදල් මණ්ඩලය හා මහ බැංකුවේ නිලධාරින් කිහිප දෙනෙකු කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.
විගණකාධිපතිවරයා කෝප් කමිටුවට ලබාදුන් වාර්තාව හා අද දිනයේදී ලබාගන්නා ප්‍රකාශ පදනම් කරගෙන කෝප් කමිටුව විසින් පාර්ලිමේන්තුවට වාර්තාවක් ලබාදීමටද නියමිතව ඇත.