ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් ගැටලුව විසඳීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තවත් දින දෙකක් ලබාදෙන බව 'මව්බිම වෙනුවෙන් රණවිරුවෝ' සංවිධානයේ කැඳවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න මහතා පැවසීය.
එම කාලය තුළදී නිසි ප්‍රතිචාරයක් නොලැබුණොත් ආබාධිත රණවිරුන් ඇතුළු රණවිරු ප්‍රජාව, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු දහස් ගණනක් සමග කොළඹට පැමිණ පිළිතුරක් ලැබෙනු තුරු රැඳී සිටින බවද ඒ මහතා සඳහන් කළේය.
ජනාධිපතිවරයා විසින් මෙම ගැටලුව විසඳීම සඳහා මුදල් අමාත්‍යවරයා, විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු තීන්දු තීරණ ගත හැකි නිලධාරීන් සහභාගි වන සාකච්ඡාවක් සූදානම් කළ යුතු බවත්, මේ දක්වා ජනාධිපතිවරයාගෙන් විසඳුමක් ලැබී නොමැති බවත් පැවසූ හෙතෙම, දිගින් දිගටම රණවිරුවන් රැවටීමට උත්සාහ කළහොත් කිසිවෙකු නොසිතන ක්‍රියාමාර්ගවලට පිවිසෙන බවත් පවසා සිටියේය.