ශ්‍රී ලංකාවට මරණීය දණ්ඩනය ගෙන එනවා නම් එය කළ යුතු වන්නේ සමාජය නිවැරදි තත්ත්වයට ගෙන ඒමෙන් පසුව බවත්, එසේ නොවුණහොත් සමාජයට වෙනස් වූ බලපෑමක් ඇතිවිය හැකි බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අංශ ප්‍රධානී මහාචාර්ය මයුර සමරකෝන් මහතා පැවසීය.
කොටදෙනියාවේ පස් හැවිරිදි දැරියක දූෂණය කර ඝාතනය කිරීමත් සමග මරණීය දණ්ඩනය ගෙන එන ලෙස සමාජයේ ඇතිව තිබෙන මතය පිළිබඳව 'අද' පුවත්පතට ප්‍රකාශයක් ලබාදෙමින් හෙතෙම මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා, "මරණීය දණ්ඩනය ගේන්න කියලා උද්ඝෝෂණයක් ගෙනාවට ඒක හුදු උද්ඝෝෂණයක් විතරයි. දරුණු අපරාධයක් සිදු වූ හැම අවස්ථාවකම අපේ සමාජය මරණීය දණ්ඩනය ගේන්න කියලා කියනවා. ඒකෙන්ම පැහැදිලිව පේනවා අපරාධකරුවන්ට ගල්ගසා මරා දැමිය යුතුයි, අපරාධකරුවන් මරා දැමිය යුතුයි කියන අර පැරණි කැලෑ නීතිය උත්සන්න කරන්න තමයි මේ හදන්නේ.
අපේ සමස්ත සමාජයේ තිබෙන හැමදේම බිඳවැටිලා තියෙන්නේ. මරණීය දණ්ඩනය ගේන්න ඕන කියද්දි ඒ නීතිරීති ස්ථාපිත වෙන්නෙ පාර්ලිමේන්තුව තුළදී. නමුත් පාර්ලිමේන්තුව කියන්නෙ අපිට ශුද්ධ වූ ස්ථානයක්ද? සමස්ත සමාජය ගත්තොත් තියෙන්නෙ විකෘති තත්ත්වයක්.
විශේෂයෙන්ම ආගමික සංස්ථාව බිඳ වැටිලා තියෙනවා. අධ්‍යාපනික සංස්ථාව බිඳ වැටිලා තියෙනවා. දේශපාලන සංස්ථාව මුළුමනින් බිඳ වැටී තිබෙනවා. මෙවැනි විකෘති තත්ත්වයක් යටතේ මරණ දඬුවවම ගේනවා කියන්නෙ ඒ හරහා තවත් විවිධාකාර වූ, සමාජයට වෙනස් වූ බලපෑමක් ඇති වෙන්න පුළුවන්. මරණ දඬුවම ගේනවා නම් ගේන්න ඕන සමාජය නිවැරදි වූ තැනකයි.
සමාජය නවීකරණය වීමේදී විශේෂයෙන්ම සමාජයේ තිබෙන පැරණි සාරධර්මතා බිඳවැටී තිබෙන බව පිළිගත යුතුයි. ඒක නිසා තවදුරටත් සමාජය සාරධර්ම මත ඉදිරියට ගමන් කරාවියැයි අපට විශ්වාස කරන්නට බෑ. ඒක නිසා මිනිසුන්ගේ හික්මීම ඇති කිරීම සඳහා ඉතාමත්ම සුවිශේෂි වූ නීති පද්ධතියක් හඳුන්වාදීමත් ඒවා නීතිය ක්‍රියාත්මක කරන ආයතන හරහා ක්‍රියාත්මක කරවීමත් අවශ්‍යයි.
ඒ වගේම ඒ නීති පද්ධතිය ක්‍රියාත්මක කිරීමට තියෙන පොලීසිය වැනි ආයතන ඉතාමත්ම ඉහළ මට්ටමකට නවීකරණය විය යුතුයි. ගුණාත්මක වශයෙන් නවීකරණය වීම තුළ මිනිසුන්ට දැනෙනවා තවදුරටත් සමාජය තුළ නීතිගරුක නොවී ජීවත් වෙන්න බෑ කියන එක කරුණ. ඒ තුළ ඉබේම ඔවුන් ශික්ෂණයකට පත්වෙනවා. මෙතනදී සිද්ධ වෙන්න ඕන ඉතාමත් ප්‍රභල නීති පද්ධතියක් ස්ථාපිත වීම හා ඉතාමත් ඉහළ ගුණාත්ම භාවයෙන් යුක්ත පොලිස් සේවයක් ස්ථාපිත කිරීම. ඊට අමතරව විශේෂයෙන්ම විද්‍යුත් ජනමාධ්‍ය වැනි ක්ෂේත්‍ර උදෙසා සුවිශේෂී වූ ආචාරධර්ම පද්ධතියක දැඩි අවශ්‍යතාව පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා" යැයි පැවසීය.