ක්‍රිකට් නිලවරණය බිස්නස්කාරයන්ගේ තෝතැන්නක් බවට පත්ව තිබෙන බවත්, මේ නිසා ක්‍රිකට් ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ට හෝ නිලවරණය තුළ කිසිදු තැනක් නොමැති බවත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කළේය.ඊයේ (10දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
තමා වරායේ රැකියා ලබාදෙන බවට තිලංග සුමතිපාල මහතා චෝදනා කළද තමාට වරායේ රැකියා ලබාදීමට හැකියාවක් නොමැති බවත්, එහෙත් බුකියක් තිබුණා නම් තමාට රැකියා ලබාදීමට හැකියාවක් තිබූ බවත් ඔහු පවසා සිටියේය.
මීට අමතරව තොප්පි විකුණා මුදල් සොයාගෙන ඇතැයි චෝදනා කළද එම මුදල්වලින් කොළඹ මහ රෝහලට එම්.ආර්.අයි. ස්කෑන් යන්ත්‍රයක් ලබාදුන් බවත්, එම යන්ත්‍රයෙන් ජාතික රෝහලට පැමිණෙන රෝගීන්ගේ පරීක්ෂණ කටයුතු සිදුකරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
“හොස්ටල් එකක් හදන්න මට රජයෙන් ලැබුණ ඉඩමක් විකුණලා සල්ලි සාක්කුවේ දාගත්තා කියලා සුමතිපාල කිව්වා. ඒ ගැන මම උසාවියේදී සුමතිපාල එක්ක බේරගන්නම්. ඒ වගේම තොප්පි ගහලා වික්කයි කියනවා. ඒකත් මං සුමතිපාලත් එක්ක උසාවියේදී බේරගන්නම්" යනුවෙන්ද අමාත්‍යවරයා එහිදී අදහස් දක්වමින් කියා සිටියේය.
ක්‍රීඩා අමාත්‍යවරයාද සිටි මාධ්‍ය සාකච්ඡාවකදී සුමතිපාල මහතා තමාට ඇඟිල්ල දිගුකර බැන වැදුණු බවත්, ඔහු එදා කතා කළ ආකාරය නියෝජ්‍ය කථානායකවරයෙකුට නොවටින බවත් අර්ජුන රණතුංග මහතා සඳහන් කළේය.තවදුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා,
"ඇත්තටම මම සුමතිපාලට බයයි. ඔහු කතා කළ විදියටත් බයයි. මොකද මෙතුමාට පසුගිය කාලෙ තිබුණා නඩුවක්. ඒ නඩුවේ ප්‍රධානතම කරුණ වුණේ පාතාලේ කෙනෙක් 99 ලෝක කුසලානයට ගෙන යාම. ආගමන විගමන පනත යටතේ සුමතිපාල සැකකරුවෙක් ලෙස අත්අඩංගුවට ගත්තා. මම දන්න තරමට අධිකරණ පෝය දවස්වලට වැඩ කරන්නේ නැහැ. වැඩ කරනවා නම් වැඩ කරන්නේ ගරු විනිශ්චයකාරතුමන්ලාගේ නිල නිවෙස්වල. නමුත් මේ පුද්ගලයා අත්අඩංගුවට පත්වුණු වෙලාවේ පොහෝ දිනයක විවෘත අධිකරණයක ඇප ගත්තා. ඒ හින්දම තමයි මම බය" යනුවෙන්ද කියා සිටියේය.
කෙසේවෙතත් තමා ඇතුළු ක්‍රීඩකයන් 13 දෙනෙකු ලෝක කුසලානය රටට දිනාදුන් පසු නමට ඉදිරියෙන් තනතුරු දමාගැනීම සඳහා මුදලාලිලා ක්‍රිකට් නිලවරණවලට ඉදිරිපත් වීමට පටන්ගත් බවද ඔහු කීය. මේ නිසා පසුගිය දිනවල පැවැති ක්‍රිකට් නිලවරණයේදී උප සභාපති තනතුරට ජයන්ත ධර්මදාස සහ මතිවානන් යන මුදලාලිලා දෙදෙනා සමග තරග කිරීමට සිදු වූ බවත්, එම තරගයෙන් තමන් පරාජයට පත්වූ බවත් ඒ මහතා පවසා සිටියේය.
එහිදී තමා තිලංග සුමතිපාල මුදලාලි සමග තරග නොකළ බවත්, මුදලාලිලා සමග තරග කළ තමාට ඡන්ද 80කට ආසන්න ප්‍රමාණයකුත්, නිශාන්ත රණතුංග මහතාට ඡන්ද පනස් ගණනකුත් ලැබී තිබෙන බවත් කී අමාත්‍යවරයා මෙතරම් ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන පිරිසක් සිටීම ගැන තමා සතුටු වන බවද කියා සිටියේය.
ඡන්දයෙන් පත්වූ මුදලාලිලා මේ වනවිට ක්‍රිකට් සල්ලි විනාශ කිරීම සඳහා වසර 10කට වැඩි කාලයක් ක්‍රිකට් පාලක මණ්ඩලයට පැමිණිය නොහැකිව සිටි අයට අවස්ථාව ලබාදෙමින් සිටින බවද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.