ඇතැම් පුද්ගලයන් තමන් බලලෝභී නායකයෙකු ලෙස හුවා දැක්වීමට උත්සාහ කළද, තමන් එවැනි පුද්ගලයෙකු නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
කොළඹ ඩාලි පාරේ ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට ඊයේ (11දා) පස්වරුවේ රැස්ව සිටි පාක්ෂිකයන් අමතා ඒ මහතා මේ බව සඳහන් කළේය.
ජනාධිපතිවරණ ප්රතිඵල දැනගත් සැණින් තමන් අරලියගහ මන්දිරයෙන් ඉවත් වී ජනාධිපති ධුරය අත්හල බව හෙතෙම පැවසීය.
විවිධ පුද්ගලයන් තමන් ගත් එම ක්රියාමාර්ගය විකෘති කිරීමේ උත්සාහයක නිරතවන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා, ප්රතිඵල නිකුත් වූ නවවැනි දින අලුයම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා කැඳවා තම සමුගැනීම ප්රකාශයට පත් කළ බවද සඳහන් කළේය.
ජනාධිපතිවරණයේ වාතාවරණය පිළිබඳ විමසීමට ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම්වරයා තමන්ට දුරකථන ඇමතුමක් ලබා දුන් බව සඳහන් කළ මහින්ද රාජපක්ෂ මහතා, එම සාකච්ඡාවේදී තමන් පරාජයට පත්වුවහොත් ධුරය අත්හරින බව පැවසූ බවද සඳහන් කළේය.
රට පුරා විවිධ ප්ර‘දේශවල මැතිවරණයෙන් අනතුරුව ප්රචණ්ඩකාරී සිදුවීම් තැනින් තැන වාර්තා වන බව සඳහන් කළ මහින්ද රාජපක්ෂ මහතා, තම පාක්ෂිකයන්ට සිදුවන හිරිහැර පාලනය කිරීමට මැදිහත් වන ලෙස නව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක්ද කළේය.
ජනාධිපති මෛත්රීපාල මහතා කලක් නියෝජනය කළ පක්ෂයේ සාමාජිකයන් මෙලෙස හිරිහැරයට භාජනය වෙමින් ඇතැයි පැවසූ ඒ මහතා, ඒ පිළිබඳව ඔහුගේ අවධානයට යොමුවනු ඇතැයිද පැවසීය.
නව ජනාධිපතිවරයා මෛත්රී පාලනයක් ගෙන යනු ඇතැයිද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය.