පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආචාරධර්ම පද්ධතියක් හඳුන්වා දී ඒ සඳහා සති දෙකක් ඇතුළත තම අදහස් ලබාදෙන මෙන් මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නද මසක් ගත වී ඇති මේ අවස්ථාවේ ඊට පිළිතුරු ලබා දී ඇත්තේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පමණක් බව වාර්තා වේ.
කථානායක කරු ජයසූරිය මහතා විසින් කමිටුවක් මගින් මෙකී ආචාරධර්ම පද්ධතිය සකස් කරන ලද අතර, එහි පිටපත් පසුගිය අප්‍රේල් මුල් සතියේදී මන්ත්‍රීවරුන් වෙත ලබා දී ඊට ප්‍රතිචාර සති දෙකක් තුළ එවන ලෙසද දන්වා සිටියේය.
එනමුත් දැනට මාසයකට අධික කාලයක් ගත වී ඇතිමුත් ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ රජයේ අමාත්‍ය ගාමිණී විජිත් විජිතමුණි සොයිසා හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන විදුර වික්‍රමනායක යන අය පමණි.
මෙකී ආචාරධර්ම පද්ධතිය හඳුන්වා දී තිබියදීත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සභා ගර්භය තුළ ගුටිබැට හුවමාරු කරගත් අතර, ඊට සම්බන්ධ එක්සත් ජාතික පක්ෂයේ පාලිත තෙවරප්පෙරුම හා ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රසන්න රණවීර යන මහත්වරුන්ට සතියක පමණ කාලයක් පාර්ලිමේන්තුව තහනම් කරන ලදී.
එසේම විදුලි සංදේශ හා ඩිජිටල් තාක්ෂණ අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් අසභ්‍ය වචන භාවිතය පිළිබඳ පියවර ගැනීමටද කථානායකවරයා දැනටමත් කටයුතු කරමින් පවතියි.