මඩකලපුව කල්කුඩා ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත බව සඳහන් කරන මත්පැන් කර්මාන්ත ශාලාවට මඩකලපුව දිස්ත්‍රික්කයේ සියලුම ආගමික නායකයන් විරුද්ධ බව උතුරු, නැගෙනහිර උපප්‍රධාන සංඝනායක මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියෝ පැවසූහ.
උන්වහන්සේ මේ බව පවසා සිටියේ, මඩකලපුව මංගලාරාම විහාරස්ථානයේදී සර්ව ආගමික නායකයන් විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදීය.
:"අද මඩකලපුව ජනතාවට අඩුවෙලා තියෙන්නෙ අරක්කු කර්මාන්ත ශාලා නෙවෙයි. ඒ ජනතාව අද ජීවත්වෙන්න විදියක් නැතුව ඉන්නවා. එතකොට කාගේ අවශ්‍යතාවටද මේ අරක්කු කම්හල දාන්නෙ. මේ වනවිට රජයේ ඉඩම් අරගෙන මේ කර්මාන්තය හදන්න කටයුතු කරනවා. මේකට අපි විරුද්ධයි මේ ප්‍රදේශයේ වැඩි වශයෙන් ජීවත් වෙන්නෙ දෙමළ, මුස්ලිම් ජනතාව.
මේ අය යුද්ධයෙන් බැට කාපු ජනතාව. ඒ අය උත්සාහ කරන්නෙ අපේ අනාගත පරපුර කොහොමද ජීවත් කරවන්නෙ කියලා. එහෙම කාලයක තමයි මේ එතනෝල් ෆැක්ටරිය මෙම ප්‍රදේශයේ ස්ථාපිත කරන්නෙ. පසුගිය රජය සමයේ එතනෝල් ගැන විශාල කතිකාවතක් ඇතිවුණා.
එදා එතනෝල්කාරයෝ පරද්දන්න කටයුතු කළානම් අද වනවිට මේ වගේ කර්මාන්ත මේ ප්‍රදේශවල දාන්න හදන එක සාධාරණද කියලා අපි අහනවා. ජනතාව මේ රජයට ඡන්දය දුන්නෙ ගම්මානවල අරක්කු ෆැක්ටරි ගහන්න නෙවෙයි. මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉන්න සියලුම ආගමික නායකයන් සියලුදෙනාම එකතු වෙලා මේකට විරුද්ධව පාරට බහින්න කටයුතු කරනවා"