ලංකාවේ සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල අඩුපාඩු සොයමින් එය නිවැරදි කිරීමට කටයුතු කරන බවත් තමන් පහත් දේශපාලනයක් නොකරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
කළුතර දොඩංගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නව ශ්‍රවණාගාරය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාතවරයා මේබව පැවසු අතර වැඩිදුරටත් අදහස් දැක්වමින් මෙසේද පැවසීය.
එදා රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව යටතේ දක්ෂිණ අධිවේගී මාර්ගය තැනීම සඳහා සියලු ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු අවසන් කර තිබූ බවත්, තමන් තැබූ මුල ගල ඉකුත් පාලනය එය විවෘත කරන විට ගලවා විසිකර දැමුවත්, අප එවැනි කටයුතු සිදු කිරීමට තරම් පහත් දේශපාලනයක් නොකරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසීය.
"කවුරු මේ ගොඩනැගිලි සඳහා මුල් ගල් තැබුවත් මෙම මුදල් පෞද්ගලික මුදල් නොවෙයි. මහජනතාවගේ බදු මුදල්වලින් තමයි ගොඩනැගිලි හදන්නෙ. අපි යමෙක් හොඳ දෙයක් කරනවා නම් හොදයි කියන්න ඕන. ඇයි අපි ඒ සඳහා පැකිලෙන්නේ? දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කරන විට අපි තබපු මුල් ගල් සියල්ලම ඉවත් කරලා අලුත්ම චිත්‍රයක් තමයි ජනතාවට පෙන්නුම් කළේ. නමුත් කිසිදා ඉතිහාසය වෙනස් කරන්න බැහැ.
මෙම ශ්‍රවණාගාරය ආරම්භ කරන විට තබපු මුල් ගල තවම එසේම තිබෙනවා. අපිට බලය තිබුණා කියලා එය කඩල විසි කළේ නැහැ. එහෙම කරනවා නම් වැරදියි. 2004 අපේ පාලනය අවසන් වන විට දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු බොහෝ දුරට අවසන් වෙලා තිබුණේ. ඉකුත් පාලනයට එය විවෘත කිරීමට තවත් බොහෝ කාලයක් ගත වුණා. මේ සමාජ මතය සැබෑ ලෙස නිවැරදි විය යුතු නිසයි මම මේ කරුණු අවධාරණය කළේ.