තමන් පරම්පරාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොපැමිණි බවත් සිය දෙමාපියන් එක්සත් ජාතික පක්ෂයේ බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
එසේම තමන්ට පෞද්ගලික ගණුදෙනු නැති බවත්, ජනතාවගේ ප්‍රශ්න සඳහා කැපවෙන බවත් ඔහු කීවේය.
පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ අද(17දා) පැවති ශ්‍රී.ල.නි.ප පොළොන්නරුව දිස්ත්‍රික් නියෝජිත සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
"රටේ ජනතාව මා කෙරේ විශ්වාසය තැබුවා. මිනිසුන්ට උවමනාවක් තිබුණා නිදහස හා ප්රජාතන්ත්රවාදය තහවුරු කරන්න. අවුරුදු 37 ක් සටන් කරපු ජනතාව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පළමු සටන් පාඨය අතට ගත්ත මම ඒ සටන් පාඨය අවසන් කෙරුවා.
මට කවුරුත් එක්ක පෞද්ගලික ගනුදෙනු නෑ. මම පරම්පරාවෙන් ශ්‍රී.ල.නි.ප පක්ෂයට ආව කෙනෙක් නොවෙයි. මගේ දෙමවුපියොත් එ.ජා.පෙ.යි.
මම ජනතාවගේ ප්‍රශ්න සඳහා කැපවනවා මිසක් මට කාගෙවත් පෞද්ගලික ප්‍රශ්න සඳහා කැපවෙන්න උවමනාවක් නැහැ. මම ජනවාරි 08 ජයග්‍රහණය කරපු මැතිවරණයෙන් ගෙවී ගිය මාස 04 ක කාලය තුළදී මේ රටේ පැහැදිලි වෙනසක් පෙන්නලා තියෙනවා.
ඒකයි ඇත්ත තත්ත්වය මේවා මිහිරි වුණත් අමිහිරි වුණත් සත්‍ය යථාර්ථය අපි පැහැදිලිව කියන්න ඕනෙ. අපි තව බොහෝ වෙනස්කම් කළ යුතු වෙනවා. මන්ත්‍රීවරුන්ට ලැබෙන ප්‍රතිපාදන මහජනතාවගේ සුභසිද්ධිය සඳහා යෙදවිය යුතුයි. දේශපාලන ගුණාත්මක සංස්කෘතියක් මේ රටේ ඇති විය යුතුයි" යැයි පැවසීය.