නයිජීරියාවේ ඉස්ලාමීය අන්තවාදී බෝකෝ හරාම් ත්රස්තයන් විසින් පැහැරගනු ලැබූ 200කට අධික පාසල් සිසුවියන් පිරිස බේරාගැනීම සඳහා ලෝකය නිහඬව සිටිය යුතු නැති බවත්, එසේ නිහඬව සිටීමෙන් ලොවපුරා තව තවත් පාසල් සිසුවියන් මේ ආකාරයේ ඉස්ලාමීය අන්තවාදීන්ගේ ගොදුරුබවට පත්විය හැකි බවත් තලේබාන් ප්‍රහාරයකින් ජීවිතය බේරාගත් පාකිස්තාන පාසල් සිසුවිය, මලාලා යූසෆ්සායි බී.බී.සී.ය වෙත පවසා සිටියාය.
නයිජීරියාවේ බොර්නෝ ප්‍රාන්තයේදී ඉස්ලාමීය අන්තවාදී බෝකෝ හරාම් ත්රස්තයන් විසින් මීට සති තුනකට පමණ පෙර මෙම ගැහැණු දරුවන් ද්විතීයික පාසලක නේවාසිකාගාරයකින් පැහැරගෙන ගොස් තිබිණි.
බෝකෝ හරාම් ත්‍රස්ත නායක අබුබකර ෂෙකාවු සතිය ආරම්භයේදී වීඩියෝවක් මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින් මෙම පැහැරගැනීම පිළිගත් අතර, එහිදී මෙම දරුවන් පාසල් නොයා යුතු බවත්, ඔවුන් වහල්කමට විකුණන බවටත් තර්ජනය කළේය.
පැහැරගත් ගැහැණු දරුවන් වයස අවුරුදු 16ත් - 18ත් අතර වයසේ පසුවන්නන් වන අතර, ඔවුන් චිබොක් පාසලේ සිය අවසන් වසරේ විභාගය සඳහා සූදානමින් සිටි බවද කියැවෙයි.
මේ අතර පසුගිය ඉරිදා තවත් ගැහැණු දරුවන් 11 දෙනෙකු තවත් ගම්මාන දෙකකින් පැහැරගෙන ගොස් ඇති අතර, එයද බෝකෝ හරාම් ත්රස්තයන්ගේ ක්‍රියාවක් බව මේ වනවිට හෙළි වී තිබේ.
දරුවන් බේරා ගැනීම සම්බන්ධයෙන් කිසිවක් නොකරන බවට නයිජීරියානු රජයට එල්ලවන දැඩි පීඩනය හමුවේ එරට පොලීසිය විසින් දරුවන් සම්බන්ධයෙන් තොරතුරක් ලබාදෙන අයෙකුට ඇ.ඩො.300,000ක (රු.කෝටි 4කට ආසන්න) මුදල් ත්‍යාගයක් ලබාදෙන බව නිවේදනය කළේය.
නමුත්, මෙයින් කිපුණු බෝකෝ හරාම් ත්රස්තයන් පසුගිය සඳුදා බොර්නෝ ප්‍රාන්තයේම ගම්මානයක් වෙත කඩා වැදී දිගට හරහට සිදුකළ මාරාන්තික වෙඩි තැබීමකින් සිවිල් වැසියන් 300කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව නිල නොවන ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මේ ක්‍රෑර ඝාතන හා ගැහැණු දරුවන් පැහැරගැනීම හමුවේ මේ වනවිට ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය මෙන්ම තවත් යුරෝපීය රාජ්‍යයන් හා චීනයද නයිජීරියාව වෙත සිය ආරක්ෂක විශේෂඥයන් එවීමට සූදානම් වන්නේ දරුවන් බේරාගැනීම සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමටය.
මේ අතර, එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම් කොෆි අන්නන් මහතාද කඩිනම් පියවරක් ගත යුතු බව දන්වා ඇති අතර, ඔහු නයිජීරියාවට මෙන්ම අප්‍රිකානු ජාතීන්ට මෙම සිදුවීම සම්බන්ධයෙන් නිහඬව සිටීම ගැන දොස් පවරා ඇත.
එමෙන්ම, නයිජීරියාවේ අබූජා නගරයේදී පසුගියදා ලෝක ආර්ථික සංසදය ආරම්භ වූ අතර, එහිදීද මේ සම්බන්ධයෙන් විශේෂයෙන් සාකච්ඡා විය.
ඊට සහභාගි වූ රාජතාන්ත්රිකයන්ට ආරක්ෂාව සැපයීම සඳහා 5000ක පමණ නයිජීරියානු හමුදාවක් යොදවා තිබුණද, වැඩි දෙනෙකු පවසා සිටියේ, තම රටේ ජනතාවට ආරක්ෂාව සැපයීමට නොහැකිව රාජතාන්ත්රිකයන්ට ආරක්ෂාව සැපයීමේ සංදර්ශනවලින් ඵලක් නොවන බවය.