(UPDATE) බිම්ස්ටෙක් සමුළුවට සමගාමීව ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ හා ඉන්දීය අගමැති මන්මෝහන් සිං මහතාගේ හමුව සිදුවිය. මෙම හමුවේදී දෙරටට වැදගත් කරුණු රාශියක් සාකච්චා වූ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි. 2012 වසරින් පසුව දෙරටේ රාජ්‍ය නායකයන් හමුවූ ප්‍රථම අවස්ථාවද මෙය වෙයි.
බහුආංශීය තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් (BIMSTEC) තුන්වැනි රාජ්‍ය නායක සමුළුව මියන්මාරයේ නේ පී ටෝ හිදී අද (4දා) ආරම්භ වෙයි.
මෙම සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (3දා) දිනයේදී මියන්මාරය වෙත පැමිණි අතර, ජනාධිපතිවරයා අද (4දා) දිනයේ සමුළුව ඇමතීමට නියමිතය.
බිම්ස්ටෙක් සමුළුව බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන දකුණු හා අග්නිදිග ආසියානු රටවල් 7කින් සමන්විත කලාපීය හවුලක් වන මෙය ප්‍රථම වරට BIST-EC (බංග්ලාදේශය, ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ තායිලන්ත ආර්ථික සහයෝගීතාව) නමින් 1997 ජූනි 06 වැනිදා බැංකොක් හිදී ආරම්භ කරනු ලැබීය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (3දා) දිනයේදී මියන්මාර ජනපති තෙයින් සෙයින් මහතා හමුවූ අතර, මියන්මාර අන්තර්ජාතික සම්මන්ත්රණ කේන්ද්‍රයේදී පැවති රාත්‍රීභෝජන සංග්‍රහයටද ජනාධිපතිවරයා ප්රමුඛ දූත පිරිස සහභාගි වූහ.
ප්‍රථම බිම්ස්ටෙක් නායක හමුව 2004 දී තායිලන්තයේ බැංකොක් නුවරදී හා දෙවැනි හමුව 2008 දී ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වීමට නියමිතය.
මෙම සමුළුව අතරවාරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අගමැති මන්මෝහන් සිං මහතා අතර හමුවක් සිදුවනු ඇති බව ද හින්දු පුවත්පත අද වාර්තා කර තිබුණු අතර, එය 2012 වසරින් පසුව දෙරටේ රාජ්‍ය නායකයන් හමුවන ප්‍රථම අවස්ථාව බවද පවසා තිබුණි.
හෙට පැවැත්වෙන මානව හිමිකම් සමුළුවට පෙර ඉන්දීය හා ශ්‍රී ලංකා නායකයන්ගේ හමුව තීරණාත්මක හමුවක් වනු ඇති බව ද හින්දු පුවත්පත වැඩිදුරටත් පවසා තිබුණි.