මල්වානේ මාපිටිගම ප්‍රදේශයේ පිහිටි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු තිදෙනෙකු විසින් ඔවුන්ට අයිතියක් නොමැති බව ප්‍රකාශ කර සිටි අක්කර 16ක ඉඩම, නිවාස ඇතුළු දේපොළ රාජසන්තක කිරීමට අපරාධ නඩු විධාන පනතට අනුව නීතිමය ප්‍රතිපාදන නොමැති බව ප්‍රකාශ කළ පූගොඩ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නිලුපුලී ලංකාපුර මෙනෙවිය ඒ සඳහා නීතිමය ප්‍රතිපාදන තිබේනම් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසට අද (23දා) නීතිපතිවරයාට නොතීසි නිකුත් කළාය.
ඒ සඳහා අප්‍රේල් මස 06 වැනිදා කල්ලබාදෙන බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරිය, එදිනට නොහැකිනම් කරුණු දැක්විය හැකි නිශ්චිත දිනයක් දැනුම්දෙන ලෙසද පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසයට නියම කළාය.
මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වා සිටි මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය, කිසියම් නඩුවකට අදාළ දේපොළ හෝ නඩු භාණ්ඩ එකී නඩු විභාගය අවසන් වනතුරු බැහැර කිරීම හෝ විනාශ කිරීමට අපරාධ නඩු විධාන පනතට අනුව නීතිමය ප්‍රතිපාදන නොමැති බව පවසා සිටියාය.
පූගොඩ පූර්වගාමී විනිසුරුවරයා විසින් අයිතිකරුවෙකු නොමැති බව ප්‍රකාශ වීමෙන් එකී දේපොළ වෙන්දේසියේ විකුණා මුදල් නඩුවේ ගිණුමට බැරකරන ලෙසට නියෝග කර තිබුණ බවද මහේස්ත්‍රාත්වරිය මෙහිදී පවසා සිටියාය.
කිරිඳිවැල - උපාලි රණවීර