හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සම්බන්ධ බව කියන ඉඩම් දෙකක රජයේ ආයතන ඉදිකිරීමට රජය තීරණය කර තිබෙන බව සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසීය. ඒ අනුව අදාළ ඉඩම් දෙක අතුරින් කඩුවෙල ඉඩම තුළ පොලිස් පුහුණු පාසලක් ආරම්භ කිරීමටත්, මාතර ඉඩම තුළ සංචාරක පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීමටත් නියමිතය.
මෙම ඉඩම් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු ක්‍රියාත්මක වන අතර, මෙහිදී අදාළ ඉඩම් සඳහා අයිතිකරුවෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් මේ තුළ රජයේ ආයතන ඉදිකිරීමට තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව ලබන සතියේදී ඉදිරිපත් කිරීමට නියමිතය.
ඊයේ (10දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය. කඩුවෙල පිහිටි අක්කර 18 ක මෙම ඉඩම තුළ කළුතර පුහුණු පාසලට අමතරව පොලිස් පුහුණු පාසලක් ඉදිකරන බව ඔහු කීය.
"හොරකම් කරපු සල්ලි මේ රටේ ජනතාවට පාවිච්චි කිරීම සඳහා අපි බොහොම ආදරයෙන් පිළිගන්නවා. ලංකා ඉතිහාසයේ වැඩිම මුදල ලෙස මිලියන 157.5 ක් අද මහ බැංකුවේ තැන්පත් වෙනවා. මේ සල්ලි සී.එස්.එන්. නාළිකාව හරහා ගනුදෙනු කරපු මුදල්. නමුත් කවුරුවත් කියන්නෙ නැහැ මේ සල්ලි කාගෙද කියලා. ඒ නිසා අධිකරණය තීරණය කළා රාජසන්තක කරන්න" යනුවෙන්ද අමාත්‍යවරයා කියා සිටියේය.