දොම්පේ, මල්වාන, මාපිටිගම පිහිටි අයුතු ලෙස උපයාගත් දේපොළක් ලෙස සැලකෙන අක්කර 16ක ඉඩම සහ ඉදිකර ඇති නිවසට අදාළව මූල්යවිශුද්ධිකරණ පනතට අනුව සහ රාජ්‍ය මුදල් අවභාවිතය ඇතුළු චෝදනා කිහිපයක් මුල්කරගෙන නීතිපතිවරයා විසින් ගොනුකර ඇති අධිචෝදනා පත්‍රයට අදාළව ලබන මැයි මස 03 වෙනිදා ගම්පහ මහාධිකරණයේ පෙනී සිටින ලෙසට හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නාඩේසන් යන දෙදෙනාට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සිතාසි නිකුත් කළේය.
එදිනට විත්තිකරුවන් දෙදෙනා ඉදිරියේ විවෘත අධිකරණයේ අධිචෝදනා කියවා විත්තිකරුවන් දෙදෙනාට අධිචෝදනා පත්‍රය බාරදීමට නියමිතය.
බැසිල් රාජපක්ෂ, තිරුකුමාර් නඩේසන් සහ මුදිත ජයකොඩි යන තිදෙනා පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු විභාගයේදී එකී දේපොළවලට අයිතිවාසිකම් නොකියන බවට අධිකරණයට දැනුම්දීමෙන් අනතුරුව පූගොඩ එවකට හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ. රුවන්පතිරණ මහතා එම දේපොළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට තීන්දු කර තිබේ. රජයේ තක්සේරුව රුපියල් විසිකෝටි අසූලක්ෂයක් වන එම ඉඩම සහ නිවස ලබන 29 වැනිදා ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට නියමිතය.
ගම්පහ - ටෝනි කරුණානායක