එංගලන්තයේ තානාපති කාර්යාලයේ සේවය කරන බ්‍රිගේඩියර් ප්‍රියංග ප්‍රනාන්දුගේ වැඩ තහනම් කර යළිත් සේවයේ පිහිටුවීමේ සිදුවීම ගොනයි මීමයි කාර්යයක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (07දා) පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් ගන්නා තීරණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වෙනස් කිරීමේ මෙවැනි සිද්ධි ගණනාවක් පසුගිය කාලයේදී ජනතාවට දැකගැනීමට ලැබුණු බවත්, විකෘති දේශපාලනයට මෙය හොඳ උදාහරණයක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි වැඩිදුරටත් අදහස් දැක්වු කෙහෙළිය රඹුක්වැල්ල මහතා,
“ප්‍රියංග නුවර මගේ ආසනයේ කෙනෙක්. ඔහුගේ දියණිය නැති වුණා ඩෙංගු හැදිලා. මුළු ජීවිත කාලයම ඔහු උතුරු නැගෙනහිර සේවයේ හිටියේ. ඔහුගේ දරුවාට අසනීප වුණු වෙලාවෙත් නිවසට එන්න බැරිවුණා. විදේශ කටයුතු අමාත්‍යාංශය ඔහුගේ සේවය අත්හිට වූ පසුව මෛත්‍රිපාල සිරිසේන ඔහුව යළි පත් කරලා තිබෙනවා.මේ ආණුඩුවේ වැඩවලට ගොනයි මීමයි කියන එක හරියටම හරි. විකෘති වුණු දේශපාලනයට හොඳම උදාහරණය මෙය බව පෙන්වා දෙන්න පුළුවන්. ජනතාව පීඩනයට පත් වෙලා තියෙන්නේ මේ විකෘතිය නිසයිʼʼයනුවෙන් පවසා සිටියේය.