මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වී ඇති පසුබිමක ශ්‍රී ලංකාවේ සේවා ආර්ථිකය ඉන්දියාවට විවෘත කළහොත් 'මොකකින් මොකක්' වේවිදැයි සිතාගැනීමට නොහැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පැවසීය.
මෙම එට්කා ගිවිසුමට අත්සන් කළහොත් අනාගතයේදී ජනමත විචාරණයක් පවත්වා හෝ එයින් ගැලවීමට නොහැකි බවත්, මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන්වූයේ ඇයිදැයි හරියට තේරුම් ගැනීමට හැකියාවක් තිබේ නම් ශ්‍රී ලංකාව එට්කා වැනි ගිවිසුම් සාකච්ඡාවටවත් භාජනය නොකළ යුතු බවත් වීරවංශ මහතා පවසා සිටියේය.
පිටකෝට්ටේ, කෝට්ටේ පාරේ ඊ.ඩබ්ලිව්. පෙරේරා මාවතේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
“අපිට කොහේහරි ආණ්ඩුවක් පරද්දන්න ඕන නම් මේ ආණ්ඩුවේ මැති ඇමතිවරු කණ්ඩායමක් යවන්න ඕන. බ්‍රිතාන්‍ය අගමැතිටත් ඉල්ලා අස්වෙන් සිද්ද වුණේ ඒකයි. ඊළඟට මෙහේ තියෙන ඡන්දවලදි යූඑන්පී එකට උදව් කරන්න එංගලන්තයෙන් ඒවිද දන්නෑ. සුද්දො ඇවිත් ජනතාවට කියයි මිස්ට වික්‍රමසිංහට ඡන්දෙ දෙන්න කියලා.
මෙහේ ඉන්න කළු සුද්දො ගිහිල්ලා බ්‍රිතාන්‍ය ජනමත විචාරණයේදි උඹලගේ ලොකු සුද්දට ඡන්දේ දීපල්ලා කියලා එහේ ඉන්න සුද්දොන්ට කියනව නම්, ඊළඟට අපේ ඡන්දෙදි සුද්දො ඇවිත් කියාවි අපේ මෑන් මිස්ට වික්‍රමසිංහට ඡන්දේ දීපන් කියලා. මේක මහ විගඩමක්. මන්දන්නෑ තරු පහද තරු සීයද කියලා. අපිට නම් තරු පේන විගඩමක් මේක.
බ්‍රිතාන්‍යයෙන් සල්ලි දීලා නෙවෙයි අපේ සල්ලිවලින් වියදම් කරගෙන අයියලා ටික ගියේ. මහජනතාවගේ බදු මුදලින් ටිකට් අරන් ගිහින් එහේ සැප විඳලා ආවා. යටත්විජිත ගැති භාවය කියන්නේ ඒකයි. පරණ හාම්පුතාගේ බඩේ අමාරුවක් ආවත් අයියලා ටික දුවනවා අයියගේ බඩ අතගාන්න. ඒකට තමයි මේ අය ගියේ" යැයි පැවසීය.