ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ රටේ බලය ලබා ගන්නේ ඔළුගෙඩි මාරුකර නොවන බවත්, එය සිදුකරනුයේ ජනතාවගේ ඡන්දයෙන් වන අතර, ඒ සඳහා තම කණ්ඩායම මැතිවරණයක් ලබාගන්නා බවත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසූයේ ඊයේ(20දා) පස්වරුවේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බද්දේගම ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා,
“ශ්‍රි.ල.නි.පක්ෂය අද බෝඩ් ලෑල්ලක් බවට පත්වෙලා තිබෙනවා. එජාපයේ ප්‍රතිපත්තිවලට ගරු කරන පක්ෂයක් බවට පත්වෙලා තිබෙනවා. හිටපු පළාත් පාලන නියෝජිතයන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හා මහජනාතවගේ ඉල්ලීම පරිදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම යටතේ නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට අපි කටයුතු කළා.
වයසින් අඩුම දේශපාලන පක්ෂය තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ශ්‍රී.ලංකා පොදු ජන පෙරමුණ තමයි දකුණු ආසියාවේ දැවැන්තම මැයි දිනය පැවැත්වූයේ. අද වනවිට ගම්මට්ටමට ගොස් සාමාජිකයන් බඳවා ගැනීමේ කටයුතු කරමින් යනවා.
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ මේ රටේ බලය ලබාගන්නේ ඔළුගෙඩි මාරු කරලා නෙවෙයි. ජනතාවගේ ඡන්දයෙන් බව පැහැදිලිවම කියනවා.” යනුවෙන් පැවසීය.
මේ අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන්වන දොස්තර රමේෂ් පතිරණ, මොහාන් පී ද සිල්වා. දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන්වන ඉසුරු දොඩංගොඩ, පළාත් සභාවේ උප සභාපති සම්පත් අතුකෝරළ, සිසිර කුමාරත්න, චම්ලි විතානාච්චි, පත්මසිරි ද සිල්වා යන මහත්වරුද එක්වී සිටියහ.