මැයි මාසයේ ඇතිවූ ගංවතුරට හා නායයෑමට හසුවූ ජනතාවට බෙදා දීම සඳහා විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් මෙරටට එවා ඇති ආධාර කන්ටේනර් සඳහා අයකරන බදු ගෙවාගත නොහැකිව මාස එකහමාරකට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකා රේගුව භාරයේ තිබෙන බව සංස්කෘතික කටයුතු සහ වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පැවසීය.
ආහාරවර්ග, පොත්පත්, ඇඳුම්වර්ග, පැදුරු, කූඩාරම්, මදුරු දැල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මෙම කන්ටේනර් තුළ තිබෙන බවත්,සමහර ආහාර ද්‍රව්‍ය භාවිතයට ගතනොහැකි පරිදි විනාශ වීඇතිබවත්නියෝජ්ය ඇමතිවරයා සඳහන් කළේය.
තමා රේගු අධ්යක්ෂ ජනරාල්වරයාගේ ලිපියක් රැගෙන එම කන්ටේනර් නිදහස් කර ගැනීමට ගියද ප්‍රමාද ගාස්තු ලක්ෂ හතක් සහ රැඳවුම් ගාස්තු ඇතුළු විවිධ බදුවර්ග සඳහන් කරමින් එම මුදල ගෙවා අවසන් කරනතුරු ආධාර කන්ටෙනර් නිදහස් කළ නොහැකි බවට රේගු නිලධාරීන් ප්‍රකාශ කරන බවත්,මෙම භාණ්ඩ නිදහස් කරගැනීම සඳහා අවස්ථා ගණනාවකදී තමන් උත්සාහ කළ බවත් තෙවරප්පෙරුම මහතා කීවේය.
කුවේට්,ඩුබායි,මැලේසියාව යන රටවල සිටින තමාගේ හිතවතුන් විසින් ආපදාවෙන් විපතට පත් ජනතාවට බෙදාදීම සඳහා එවූ ආධාර කන්ටේනර් දෙකක් නිදහස් කර ගැනීමට තිබෙන බවත්,මීට අමතරව තවත් මැති ඇමතිවරුන්ගේ නමට එවූ ආධාර කන්ටේනර් කිහිපයක්ද නිදහස් කරගත නෙහැකිව තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
රජය මැදිහත්වී ආපදා කළමනාකරණ අමාත්‍යාංශය වෙත මෙම ආධාර කන්ටේනර් ලබාදෙන්නේනම් එතැන් සිට මහජනතාවට ඒවා බෙදාහැරීමට අවස්ථාව තිබෙන බවද හෙතෙම කියාසිටියේය.