බදියුදීන් 26වැනි පරිපාලන දිස්ත්‍රික්කය ඉල්ලයි
කල්මුණේ, සමන්තුරේ, පොතුවිල්, මැතිවරණ කොට්ඨාස එකතු කර රටේ 26 වැනි පරිපාලන දිස්ත්‍රික්කය ස්ථාපිත කළයුතු බව සමස්ත ලංකා මහජන කොංග්රස් නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කරයි.
මෙහිදී ජනවර්ගයට අවශ්‍ය පහසුකම් සහිතව පරිපාලන දිස්ත්‍රික්කය නිර්මාණය කළයුතු බවත්, රටේ පරිපාලන කටයුතුවලදී භාෂාමය වශයෙන් නොයෙකුත් ගැටලුවලට අම්පාර දිස්ත්‍රික්කයේ මෙම කොට්ඨාස තුනෙහි ජීවත්වන දෙමළ ජනතාව මුහුණදෙන බවත් ඔහු පවසා සිටියේය.
සමස්ත ලංකා මහජන කොංග්‍රසය හා එක්සත් සාම සන්ධානය එක්ව සකස් කළ එක්සත් ජනතා සන්ධානය දැනුවත් කිරීමේ මාධ්‍යහමුවට සහභාගි වෙමින් ඊයේ (10දා) මේ බව කී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්රකාශයටද මෙම කරුණ ඇතුළත් කර තිබෙන බවයි.
උතුරු, නැගෙනහිර, පළාත් වෙන්වෙන් වශයෙන් පැවතිය යුතු බවත්, එහෙත් සමහර පිරිස් පළාත් දෙක එකතු කිරීමට උත්සාහ ගන්නා බවත් ඔහු සඳහන් කළේය.
එහෙත් නැගෙනහිර පළාත වෙනත් කිසිදු පළාතක් සමග සම්පූර්ණයෙන් හෝ කොටසක් වශයෙන්, ස්ථිර හෝ තාවකාලික වශයෙන් එකතු කිරීමට විරුද්ධබවද හෙතෙම පවසා සිටියේය.
රටේ පවතින විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යා යුතු බවත්, වර්තමාන පාර්ලිමේන්තු ක්රමයද තවදුරටත් පවත්වාගෙන යා යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණ ක්‍රමය තුළ ගැටලු තිබෙන බවත්, මෙම ක්‍රමය තුළින් සුළු ජනකොටස්වල අයිතීන් කඩවීම සිදුවන නිසා මැතිවරණ සංශෝධනයක් තුළින් එය නිවැරදි විය යුතු බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
ඉදිරි මැතිවරණයේදී එක්සත් ජනතා සන්ධානය යටතේ නැගෙනහිර පළාතට තරග කරන බවත්, එහෙත් ඉන් පිටතදී තනිවම හෝ එක්සත් ජාතික පෙරමුණ සමග එකතු වී තම පක්ෂය තරග කිරීමට සැලසුම් කර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


