ගංවතුරෙන් ආපදාවට ලක් වූ ජනතාව වෙනුවෙන් සායන පැවැත්වීමට ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරුන් ප්රමුඛ කාර්යමණ්ඩල සූදානමින් සිටියදී ඒ කෙරෙහි බටහිර වෛද්‍යවරුන් විරෝධය පාමින් සිටින බවට ආයුර්වේද දෙපාර්තමේන්තුව චෝදනා කරයි.
දෙපාර්ශ්වය අතර මෙම ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක් වූ ජනතාව අපහසුතාවට ලක්වීමේ තත්ත්වයකට මග පෑදී තිබේ.ආයුර්වේද වෛද්‍යවරුන් සායන පවත්වන්නේ නම් බටහිර වෛද්‍යවරුන් ජනතාවට පවත්වන වෛද්‍ය සායනවලින් සම්පූර්ණයෙන්ම ඉවත්වන බවට කොළොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කොළොන්නාව මහ නගර සභා සභාපතිවරයාට දැනුම් දී ඇතැයි සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමයේ උප සභාපති වෛද්‍ය චමල් කුලතුංග මහතා අවධාරණය කළේය.
වෛද්‍ය කුලතුංග මහතා සඳහන් කළේ කොළොන්නාව ඕල්කට් විද්‍යාලයේ ආයුර්වේද දෙපාර්තමේන්තුව පවත්වන වෛද්‍ය සායනය සම්බන්ධයෙන් බටහිර වෛද්‍යවරුන් මේ වනවිට විරෝධය පළ කරමින් සිටින බවයි.මෙම විරෝධය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂිකා පබා පලිහවඩන මහත්මිය ආයුර්වේද වෛද්‍ය සායන පැවැත්විය නොහැකි බවට දැනුම් දී ඇතැයිද ඔහු කීය.
ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට දැනුම් දී ආයුර්වේද සායන පැවැත්වීම සඳහා ආයුර්වේද වෛද්‍යවරුන්ට බාධාවක් නොමැති බවත්, එවැනි බලපෑමක් ආයුර්වේද වෛද්‍යවරුන් වෙත තමන් කෙරෙන් සිදු නොවූ බවත් ආයුර්වේද වෛද්‍යවරුන්ගේ චෝදනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය ප්‍රකාශ කළාය.
කෙසේ වුවද ගංවතුර හා ආපදා තත්ත්වයට මුහුණදී අසරණ තත්ත්වයේ සිටින ජනතාව අතරින් වෛද්‍ය අවධානය යොමු නොවූ පළාත් මේ වනවිටද පවතින අතර, වෛද්‍යවරුන් අතර ඇති පරස්පරතා මධ්‍යයේ රෝගීන් අනතුරේ වැටීමටද ඉඩ ඇතැයිද ජනතාව කෙරෙන් මතුවන අදහස වේ.