පෞද්ගලික වාසි තකා කටයුතු කරන කිසිවකු හමුවේ තමන් නොනැමෙන බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පියපුතු පදනමේ වර්ෂ පූර්ණ උත්සවයට සහභාගි වෙමින් හෙතෙම මේබව කීය.
“මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා අද වරාය පාඩු ලබනවා කියලා. නමුත් අද වරාය පාඩු ලබන්නේ නැහැ. වරායේ ලාභය අඩුවෙලා තියෙනවා. ඒකට මූලික හේතු කිහිපයක් තියෙනවා. එකක් මහින්ද රාජපක්ෂ මහත්තයගේ කාලයේ ගත්ත ණය ගෙවන්න සිදු වීම. 2015 වනවිට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මුළු ණය ප්‍රමාණය රුපියල් මිලියන දෙලක්ෂ තිස් තුන්දහස් එකසිය හතලිස් නවයක් වනවා. ඒ අනුව 2015දී ණය වාරිකය රුපියල් මිලියන දහදාස් අටසිය පනස් එකයි. පොලිය රුපියල් මිලියන 6083ක් වෙනවා. ඒවගේම සම්පුර්ණ ණය සහ පොලිය රුපියල් මිලියන 16 934 ක් තියෙනවා. අපිට දැන් 2016 දී ගෙවීමට තියෙන ණය මුදල රුපියල් මිලියන 12 584 ක්. පොලිය රුපියල් මිලියන 7531ක්. සම්පූර්ණ ණය සහ පොලිය රුපියල් මිලියන 20115 ක් වෙනවා. මේ ණය ගෙවලා ඉවරවෙනකොට 2039 දක්වා යනවා. ඒ කාලේ වෙනකොට අපි කොහේ ඉදීද දන්නේ නැහැ. නමුත් අපිට මේ වරායේ තියෙන ණය පසුගිය ආණ්ඩුවෙන් ගත්තා කියලා අපිට අහක බලාගෙන යන්න බැහැ. ඒ වගේම පසුගිය 2015 වසරේ වැටුප් වැඩි කිරීමෙන් අපිට අවුරුද්දකට රුපියල් මිලියන 2916 ක් වැඩිපුර වැය කරන්න සිදු වුණා. අද අපි සේවකයින් වෙනුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය ලබන ආදායමෙන් 47% ක් සහ 48% ක් වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා. සමහර අය කියයි ණය ගත්තේ අපි නෙවෙයි මේව කළෙත් අපි නෙවෙයි කියලා. ඔව් ඇත්ත. මේ ණය ගත්තේ මමත් නෙවෙයි. පසුගිය ආණ්ඩුව ගත්තට රජයක් හැටියට අපිට ඒ ණය ගෙවන්න සිද්ධ වෙනවා.
අද වෙනකොට අපි පැය දොළහකට වැඩි කාලයක් වරාය වෙනුවෙන් දිනකදී වැය කරනවා. ඒ සියල්ල අපි කරන්නේ මේ ණය ගෙවලා වරාය යථා තත්ත්වයට ගන්නයි. ඒ සඳහා සේවකයින්ගේ කැපවීමත් උසස් මට්ටමින් ලැබෙනවා. අපේ වැඩ කිරීමේ ශකිතිය අපි වැඩි කරලා තියෙනවා.