ශ්‍රී ලංකා පොලිස් සේවයේ උප පොලිස් පරීක්ෂකවරුන් ඇතුළු ඉන් පහළ නිලධාරීන්ගේ උසස්වීම් සම්බන්ධ ගැටලු විධිමත් ලෙස අධ්‍යයනය කර කොමිෂන් සභාව වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාව පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ.
ඒ අනුව කමිටු සභාපතිවරයා ලෙස බදුල්ල දිසා ලේකම් සී. වාස් ගුණවර්ධන මහතා පත්කර ඇති අතර, කමිටු සාමාජිකයන් ලෙස නීතිය, සාමය සහ දක්ෂිණි සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එම්.එස්.පී. සූරියප්පෙරුම, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අධ්යක්ෂ (ආයතන හා විනය) ඩී.එම්.එස්. දිසානායක, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අධ්යක්ෂ (ප්‍රතිපත්ති, නීති සහ අභියාචනා) ආචාර්ය එම්. සුමනදාස (කමිටු සාමාජික සහ කමිටුවේ කැඳවුම්කරු) යන මහත්ම මහත්මීන් පත්කරනු ලැබ තිබේ.
පොලිස් සේවයේ ඉහත සඳහන් එක් එක් ශ්‍රේණිවල වර්තමානයේ පවත්නා පුරප්පාඩු සඳහා උසස්වීම් විධිමත් ලෙස ලබාදීමට හැකිවන පරිදි මෙම කමිටුව දැනට අනුමත උසස්වීම් පටිපාටිය හා ඒ ආශ්රිත ගැටලු හා දුක්ගැනවිලි අධ්‍යයනය කර සති 06 ක් ඇතුළත ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත නිර්දේශ ලබාදිය යුතුව ඇත.
ඒ අනුව ඉහත සඳහන් ශ්‍රේණිවලට අදාළ නිලධාරීන්ට/නිලධාරිනියන්ට මෙම උසස්වීම්වලට අදාළ වන ස්වකීය යෝජනා, අදහස් හා/හෝ ගැටලු ඇතුළුව උසස්වීම් සම්බන්ධ යම් අසාධාරණයක් හෝ විෂමතාවක් පිළිබඳව ඇති ඕනෑම දුක්ගැනවිල්ලක් මෙම කමිටුව වෙත ලිඛිතව ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී තිබේ.
මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට එළඹෙන 27 වැනිදා හෝ ඊට පෙර සිය ලිඛිත නියෝජන මෙම කාර්යාලය වෙත එවන ලෙස (දුරකථන අංකය හෝ විද්‍යුත් ලිපිනය සහිතව) ජාතික පොලිස් කොමිෂන් සභාව දන්වා සිටියි.