ජාතික පොලිස් කොමිසම පිහිටුවීමත් සමග පොලිස් සේවයේ කටයුතු විධිමත් වීමට අමතරව පොලිස් කටයුතු නිසා අසාධාරණයට පත්වන ජනතාවට සාධාරණයක් ඉෂ්ට කරගැනීමේ අවස්ථාවක් උදාවන බව පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා සඳහන් කළේය.
මෙරට පොලිස් සේවය ජාත්‍යන්තර ඇගයීමට ලක්කිරීම සඳහා කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහාචාර්ය කරුණාරත්න බණ්ඩාර මහතාට සහ සහකාර පොලිස් අධිකාරී ඕමති පෙරියප්පෙරුම මහත්මියට උපහාර දැක්වීමේ අවස්ථාවෙන් පසු පැවැති සාකච්ඡාවේදී හෙතෙම මේ බව පැවසීය.
පිහිටුවනු ලබන පොලිස් කොමිසම තුළින් බලය විමධ්‍යගත වන බවද ඒ මහතා එහිදී සඳහන් කළේය.
මීට පෙර යෝජනා කර තිබූ පොලිස් කොමිසමට පොලිස්පතිවරයාට සහභාගී වීමට නොහැකි වී තිබූ බවත්, එහෙත් පිහිටුවීමට නියමිත පොලිස් කොමිසමේ පොලිස්පතිවරයා සාමාජිකයෙකු නොවුණද රැස්වීම්වලට සහභාගී වීමේ අවස්ථාව හිමිව තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
පොලිස් කොමිසම මගින් පොලිස් සේවයට බඳවා ගැනීම්, උසස්වීම්, ස්ථාන මාරුවීම් ඇතුළු පොලිස් සේවයේ ගැටලුවලට විසඳුම් ලැබෙන බවත්, ජනතාවට සිදුවන අසාධාරණයකදී කොමිසමට පැමිණිලි කර සාධාරණයක් ඉෂ්ට කර ගැනීමට අවස්ථාවක් හිමිවන බවත් ඉලංගකෝන් මහතා සඳහන් කළේය.
ව්‍යවස්ථාදායක සභාව පත්කර තිබෙන නිසා සාමාජිකයන් 07 දෙනෙකුගේ සමන්විත ජාතික පොලිස් කොමිසමක් ඉතාමත් ඉක්මනින් පිහිටුවන බවද හෙතෙම පවසා සිටියේය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහාචාර්ය කරුණාරත්න බණ්ඩාර මහතා පොලිස් සංස්කෘතික කොට්ඨාසය හරහා රටට, පොලිස් සේවයට ජාත්‍යන්තර කීර්තියක් ලබාදී තිබෙන බවත්, ලෝකයේ හොඳම පොලිස් කාන්තාව ලෙසට පත්වෙමින් සහකාර පොලිස් අධිකාරි ඕමතී පෙරියප්පෙරුම මහත්මිය රටට, පොලිස් සේවයට ජාත්‍යන්තර කීර්තියක් අත්කරදී තිබෙන බවත් එන්.කේ. ඉලංගකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.




ඡායාරූප ශමීර රාජපක්ෂ