පොල් සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්ට බලපෑම් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙස බරපතළ දූෂණ වංචා සිද්ධි පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හිටපු පොල් සංවර්ධන ඇමති ජගත් පුෂ්පකුමාර මහතාට නියම කළේය.
පොල් සංවර්ධන මණ්ඩලයේ ආදර්ශ ගොවිපළක කළමනාකරුවෙකුට හා එහි බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුවෙකුට බලපෑම් කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙස හිටපු පොල් සංවර්ධන ඇමති ජගත් පුෂ්පකුමාර මහතාට නියම කළ කොමිසමේ විනිසුරු මඬුල්ල, පොල් වගා කිරීමේ මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී බන්දුල අජිත් වේරගොඩ මහතාටද තරයේ අවවාද කළේය.
මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ සිදුකරන මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීතී පද්මන් සූරසේන (සභාපති), අමේන්ද්‍ර සෙනෙවිරත්න, විකුම් කළුආරච්චි, ගිහාන් කුලතුංග සහ හිටපු විගණකාධිපති පී.ඒ. පද්මතිලක යන විනිසුරු මඬුල්ල මෙලෙස අවවාද කළේය.
කොමිසමේ සහායට පැමිණෙන ස්වාධීන පුද්ගලයන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස ක්‍රියාමාර්ග ගන්නා බව දැනුම් දුන් කොමිසමේ විනිසුරු මඬුල්ල, මෙවැනි බලපෑම් මගින් කොමිසමට අපහාස කරනු ලැබුවහොත් එය වසර 10ක සිර දඬුවමක් ලබාදිය හැකි වරදක් බවද අවධාරණය කළේය.
පොල් සංවර්ධන මණ්ඩලයේ මුදල්වලින් රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් අවභාවිත කිරීම ඇතුළු සිද්ධීන් පිළිබඳව බරපතළ දූෂණ වංචා සිද්ධි පිළිබඳ පරීක්ෂා කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි විභාග කරන අතරතුරදී, පොල් සංවර්ධන මණ්ඩලයේ කොහෙඹාන ආදර්ශ ගොවිපළේ කළමනාකරු වන එම්.අයි.එම්. ෆාරිස් හා මණ්ඩලයේ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුවකු වන රෝහිත සම්පත් යන මහත්වරු තමන්ට එල්ල වී ඇති බලපෑම් හෙළිකළහ.
පොල් සංවර්ධන මණ්ඩලයේ කොහෙඹාන ආදර්ශ ගොවිපළේ කළමනාකරු වන එම්.අයි.එම්. ෆාරිස් මහතා සාක්ෂි දෙමින්, කටඋත්තර දීමට පැමිණෙන ලෙස දැනුම් දුන් දිනට දින දෙකකට පෙර හිටපු පොල් සංවර්ධන ඇමති ජගත් පුෂ්පකුමාර සහ පොල් වගා කිරීමේ මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී බන්දුල අජිත් වේරගොඩ යන අය ඔවුන්ගේ ජංගම දුරකථනවලින් තමන්ට කතාකොට ‘‘&කොමිසම පවත්වන විමර්ශනවලට අහුවෙන්න එපා, වැලිකන්දවත්ත ගැන මොනවා හෝ ඇහැව්වොත් දන්නෙ නැහැ* කියන්න යනුවෙන් කී බව හෙළිකළේය.
මණ්ඩලයේ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුවෙකු වන රෝහිත සම්පත් මහතා සාක්ෂි දෙමින්, කොමිසමේ කටඋත්තර දීමට යෑමට පෙර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වේරගොඩ මහතා තමන් අකිල විජේසිංහ යන අයගේ කාමරයට කැඳවාගෙන ගොස් ‘‘&වැලිකන්දවත්ත ගැන කිසිවක් කියන්න එපා* යැයි උපදෙස් දුන් බව පැවසීය.
කොමිසමේ කටඋත්තර දීම නිසා මේ වනවිට මසකට රුපියල් 9600 බැගින් මාස තුනක් තමන්ට නොගෙවීම නිසා තමන් මහත් අසරණභාවයට පත්ව සිටින බවද රෝහිත සම්පත් මහතා කොමිසම හමුවේ හෙළිකළේය.
නොතීසි ලත් පාර්ශ්වකරුවකු ලෙස කොමිසම හමුවට කැඳවා ඇති පොල් වගා කිරීමේ මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී බන්දුල අජිත් වේරගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටි පාලිත කුමාරසිංහ මහතා කරුණු ඉදිරිපත් කරමින් සාක්ෂිකරුවන් හෙළිකළ කරුණු සියල්ලම ප්‍රතික්ෂේප කළේය.
කෙසේ වෙතත් මෙවැනි දෑ ඇතිවීමට ඉඩ නොතබන ලෙස වේරගොඩ මහතාට අවවාද කළ විනිසුරු මඩුල්ල, මණ්ඩලයේ නිලධාරීන්ට බලපෑම් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙස හිටපු පොල් සංවර්ධන ඇමති ජගත් පුෂ්පකුමාර මහතාට නියම කළේය.