පුරාවිද්‍යා විෂයය බුද්ධශාසන අමාත්‍යාංශයට එකතුකරන ලෙසට රජයට බලකිරීම සඳහා සිංහල බෞද්ධ සංවිධාන කිහිපයක් එක්ව වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි සිංහලේ සංවිධානයේ ලේකම් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ පැවසූහ.
දැනට අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පුරාවිද්‍යා විෂය පවරා තිබීම ගැටලුකාරී වී ඇතැයි පැවසූ උන්වහන්සේ මේ සම්බන්ධව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මුණගැසී සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුණගැසී සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවද කියා සිටියහ.
මෙම කරුණ පිළිබඳ විජේදාස රාජපක්ෂ මහතාට දැනුම්දීමක් කළ පසුව සාකච්ඡාවක් ලබාදී ඇතැයිද පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කළහ.
“අපේ රටේ පුරාවිද්‍යා විෂය බෞද්ධ ආභාසය සමග ගොඩනැගුණු දෙයක්.ලෝකයේ අනෙකුත් ස්ථානවල තිබෙන පුරාවිද්‍යා ස්මාරක දිහා බලන විදියට අපේ රටේ පුරාවිද්‍යාව සලකන්න බැහැ.අපේ රටේ තියෙන්නේ බෞද්ධ පුරාවිද්‍යාවක්. වෙහෙර විහාරස්ථාන ස්ථාන සමග ගොඩනැගුණු ඉතිහාසයක් අපට තියෙන්නේ.ඒ නිසා වෙනත් අමාත්‍යාංශවලට කඩා නොදමා බුද්ධ ශාසන අමාත්‍යාංශය සමග පුරාවිද්‍යා විෂය පැවතිය යුතුයි.
ඇමතිවරුන්ට වැඩකරන්න පහසු වෙන්නෙත්,පුරාවිද්‍යා විෂයය දියුණු කරන්න ලැබෙන්නෙත් එවිට තමයි.අපේ රටේ ජාතික ප්‍රතිපත්තියක් නැති නිසා මෙතෙක් කලක් විවිධ අමාත්‍යාංශ යටතේ පුරාවිද්‍යා විෂය පැවතුණා.ඒනිසාම තමයි එම විෂයය අභාවයට යන, කිසිකෙනෙකුගේ සැලකිල්ලක් නැති දෙයක් බවට පත්වුණේ.විවිධ ඇමතිවරුන්ට කෑලි කෑලි එල්ලන්න ගත්ත ක්‍රමය දැන්වත් නතර කළ යුතුයි.ඒ සඳහා මැදිහත්වීමක් කරන්න අප සූදානම්" යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියහ.