පුරාවිද්‍යාව ආරක්ෂා කරන ස්ථානයක් නෑ
තමන් දන්නා තරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ආරක්ෂා කරන ලද ස්ථානයක් නොමැති බවත්, එම දෙපාර්තමේන්තුව පිංපඩි ලබාගන්නා බවත් බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ, එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උලෙළ නිමිති කරගනිමින් දහසක් කුලදරුවන් සසුන්ගත කිරීමේ ජාතික මහෝත්සවයට සමගාමීව මහියංගණය රාජමහා විහාරයේදී කුලදරුවන් 48 දෙනෙකු පැවිදි කරවීමේ පිංකමට සහභාගි වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
" බුද්ධ ශාසනය රකින කොට අපේ වෙහෙර විහාරස්ථාන රකින එක පමණක් නෙවෙයි අපේ වගකීම. ඒ ඒ නිකායවල අවුරුදු සියදහස් ගණනක් අඛණ්ඩව පවත්වා ගෙන ආපු ඒ සම්ප්‍රදායන් ඒඒ පාර්ශ්වවලට තියෙනවා. අස්ගිරි පාර්ශ්වය කියන්නේ එදා අනුරාධපුර යුගයේ පටන් දීර්ඝ කාලයක සිට, ඒ වගේම මල්වතු මහා නිකාය කියන්නේ ඒ සම්ප්‍රදායන් ආරක්ෂා කරගෙන ආපු මහාවිහාර. අපි දන්නවා අස්ගිරි මහා විහාරයේ කාරක සංඝසභාවට අයිති වෙහෙර විහාරස්ථාන තියෙනවා. ඒ සුවිශේෂී සම්ප්රදාය.
ඇත්කඳ රාජමහා විහාරය, මහියංගණය රාජමහා විහාර පුණ්‍ය භූමිය, මුතියංගණ රාජමහා විහාරය, ඒ වගේම රංගිරි දඹුලු විහාරය, රම්භාව විහාරය වගේ ඒවා සාමාන්‍ය වෙහෙර විහාරස්ථාන පාලනය වන ක්‍රමයට පාලනය වන ඒවා නොවෙයි. ඒවා සුවිශේෂී ක්රමයකටයි පාලනය වන්නෙ. ඒවා ආරක්ෂා කරන්න ඕන, පාලනය කරන්න ඕන අස්ගිරි පාර්ශ්වය විසින්.
පසුගිය කාලේ චෝදනා ඉදිරිපත් වුණා රංගිරි දඹුලු විහාරස්ථානය පිළිබඳ. සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වගේ අයතන විසින් ඉදිරිපත් කළ යම්යම් මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ චෝදනා. ඒ පිළිබඳ අපි සඳහන් කරන්න ඕන. වර්තමානයේ රංගිරි රාජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය ගොඩගම මංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ විහාරාධිපති බවට පත්වන්නේ මීට මාස කිහිපයකට පෙර. ඔය කියන චෝදනාවලට අදාළව ඒ කාලය තුළ උන්වහන්සේ විහාරාධිපතිකම දරලා නෑ.
මීට පෙර විහාරස්ථානයේ යම්කිසි අක්‍රමිකතාවක් වුණානම් සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තියෙනවා. ඒ නිලධාරීන් අල්ලා ඒයාලා වැරැද්දක් කරලා තියෙනවා නම් දඬුවම් දෙන්න ඕන. ඒ වැරද්ද අපේ මහා සංඝරත්නය පිට පටවන්න කිසිම කෙනෙකුට අයිතියක් නෑ. ඒ ප්‍රශ්නවලට හේතුවෙලා තියෙන්නේ අපේ රටේ තියෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.
අවුරුදු 40ක් අතීතය අරගෙන බැලුවාම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ගෙවලා තියෙන්නේ ජනතාවගේ මුදලින් පිංපඩි. කියන කිසි දෙයක් කෙරිලා නෑ. පසුගිය අවුරුදු 1-2ක් ඇතුළත පුරාවිද්‍යා කොමසාරිස් ඇතුළු නිලධාරීන්ට ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්, මහා සංඝරත්නයේ අනුශාසනා ඇතිව අපි අපදෙස් දීලා තියෙනවා නොයෙකුත් දේවල් කරන්න. කරපු දෙයක් අපට පේන්න නෑ.
අපි රජයක් විදියට වගකීමෙන් කියනවා වෙහෙර විහාරස්ථානවල අයිතිය, වෙහෙර විහාරස්ථානවල පරිපාලනය සම්පූර්ණයෙන්ම හිමිවෙන්නේ ඔබ වහන්සේලාට මිසක් කිසිම හේතුවක් නිසා රජය හෝ ආණ්ඩුව හෝ ආණ්ඩුවේ ආයතනයකට. මේවායේ හිමිකමක් ලබාගන්නවත්, මේවායේ පරිපාලනයට ඇඟිලි ගහන්න හෝ මැදිහත් වෙන්න අපි ඉඩ තියන්නේ නෑ කියන එක මහා සංඝරත්නය ඉදිරියේ ප්‍රකාශයට පත්කරනවා. වෙහෙර විහාරස්ථානවල ආදායම් පාලනය ඒවා වියදම් කරන්න සම්පූර්ණ බලතල තියෙන්නේ ඒවායේ විහාරාධිපති හිමිවරුන්ට.
විහාර දේවාලගම් පනතේ යම් විවිවිධාන තියෙනවා, අධීක්ෂණ කටයුතු සඳහා යම්යම් ආයතන ඇතුළත් කරලා තියෙනවා. ඒවා තියෙන්නේ පාලනය කරන්න නෙවෙයි ඒ ආයතනවල විනිවිදභාවය ඇතිවන පරිදි කටයුතු කිරීම තුළ ඒ වෙහෙර විහාරස්ථාන පාලනය කරන නායක හිමිපාණන් වහන්සේලාගේ ගෞරවය ආරක්ෂා කරන්න, බ්‍රිතාන්‍ය පාලන සමයේ ඇතුළත් කළ නීති. ඒවාට අපේ ගෞරවනීය මහා සංඝරත්නය කවදාවත් විරුද්ධ වෙලා නෑ" යැයි පවසා සිටියේය.
මහියංගණය - රංජිත් කරුණාවීර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

