පිළිමතලාව ප්රදේශයේ ආපන ශාලාවකට පහර දී අලාභ හානි කළ පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ (07දා) රාත්රියේ අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලීසිය පවසයි.
විශාල පිරිසක් ආයුධ සන්නද්ධව පිළිමතලාව සිට පේරාදෙණිය දෙසට පැමිණෙන බවට පේරාදෙණිය පොලීසියට ලැබුණු තොරතුරක් අනුව පොලීසිය එම ස්ථානයට ගොස් ඇති අතර, එම පිරිස කිරිබත්කුඹුර ප්රදේශයේ වෙළෙඳ සැලකට ප්රහාරයක් එල්ල කිරීමට සූදානම්ව සිට පොලීසිය දැක ආයුධ රැගෙන පලාගොස් තිබේ.
එහිදී එම පිරිස ලැහුබැඳ මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇත.
මෙම පිරිස රණවන, බෝයගම, ගංගොඩ හා හීරැස්සගල ප්රදේශවල පදිංචිකරුවන් බවත්, පිළිමතලාව ප්රදේශයේ ආපන ශාලාවට අලාභ හානිකර කිරිබත් කුඹුර ප්රදේශයේ වෙළෙඳ සැලකට පහරදීමට පැමිණ ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ආපන ශාලවට සිදු වූ අලාභය රුපියල් ලක්ෂ 25ක් පමණ වන බව එහි හිමිකරු පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් රණවන ප්රදේශයේ පදිංචිකරුවන් වන බවත්, ඔවුන් සන්තකයේ තිබී පොලු මුගුරු කිහිපයක් සොයාගත් බවත් පොලීසිය පැවසීය.
මේ සම්බන්ධව පේරාදෙණිය පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, සැකකරුවන් දෙදෙනා අද (08දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර හදිසි නීතිය ක්රියාත්මක වන අවස්ථාවේදී බීමතින් රිය පැදවූ රියදුරන් තිදෙනෙකු හා නිකරුණේ හැසිරුණු පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවත්, ඔවුන්ද අද (08දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය පැවසීය.
පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක මහින්ද කල්දේරා මහතාගේ උපදෙස් මත පේරාදෙණිය පොලිස් අපරාද අංශයේ ස්ථානාධිපති කේ.ජී.ආර්.කේ. කපුකොටුව, රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ධනපාල යන මහත්වරු ඇතුළු නිලධාරීහු සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.
එමෙන්ම ඊයේ (07දා) රාත්රියේ කිසියම් පිරිසක් පිළිමතලාව නගරයේ තීන්ත අලෙවි මධ්යස්ථානයකටද ගිනි තබා ඇති අතර, ප්රදේශවාසීන් විසින් එම ගින්න මැඬපවත්වා තිබේ.
මේ සම්බන්ධව කඩුගන්නාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.