පිලිපීනයේ දවාඕ නගරයේ රාත්‍රී වෙළෙඳ පොළක ඊයේ (02දා) සිදු වූ පිපිරිමකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 60 දෙනෙකු තුවාල ලබා තිබේ.
සිද්ධිය වූ ස්ථානයේදීම පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් දෙදෙනෙකු රෝහල් ගත කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇති බව පිලිපීන පොලීසිය කියයි.
මෙම පිපිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු වගකීම භාරගෙන නොතිබුණත්, පිලිපීන වත්මන් ජනපති ඩුටාර්ටේ ගේ උපන් නගරය ලෙස සැලකෙන දවාඕ හි සිදුවූ මෙම ප්‍රහාරය සඳහා අබු සයේෆ් ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත සංවිධානය හෝ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් සම්බන්ධ බවට සැක කෙරෙයි.
විශේෂයෙන්ම දකුණුදිග පිලිපීනයේ ක්‍රියාත්මක අබු සයේෆ් ඉස්ලාම් ත්‍රස්ත සංවිධානය සමග පසුගිය සති කිහිපය පුරා පිලිපීන හමුදා දරුණු සටන් ඇති කර ගෙන තිබුණි. එමෙන්ම, එරට මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීම සඳහා නව ජනාධිපතිවරයා ගෙන ඇති දැඩි තීරණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කෝප ගන්වා ඇති බවද විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, පිපිරීමෙන් පසුව නගරයේ ආරක්ෂාව තර කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර, ජනතාවට නිවෙස්වලින් පිටතට නොපැමිණෙන ලෙස දන්වා තිබේ.
මෙම දවාඕ රාත්‍රී වෙළෙඳ පොළ අතිශය කාර්යබහුල ස්ථානයක් ලෙස සැලකෙන අතර, රාත්රියේදී විශාල පිරිසක් ඒ වෙත පැමිණෙන බවද විදෙස් වාර්තා වැඩිදුරටත් දක්වයි.