මධ්‍යම පිලිපීනයේ මගී ප්‍රවාහන යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් පුද්ගලයන් රැසක් අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි.
අයහපත් කාලගුණය සමග ඇතිවූ මෙම අනතුරින් පුද්ගලයන් 100දෙනෙකු පමණ බේරා ගැනීමට හැකි වුවත්, මරණ දෙකක් වාර්තා වන බවද එරටින් ලැබෙන වාර්තා පවසයි. මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තාවන්ට අනුව අතුරුදන් වූ පුද්ගලයන් සංඛ්‍යාව 70ක් පමණ වෙයි.
මහාර්ලිකා 2 යනුවෙන් නම් කෙරුණු මෙම යාත්‍රාවේ පුද්ගලයන් 84 දෙනෙකු පමණක් ගමන් කරමින් සිට ඇති බවට සටහන්ව තිබුණත්, මේ වනවිටත් 100 දෙනෙකු පමණ බේරාගැනීම තුළ තව කොපමණ පිරිසක් මෙහි ගමන් කළේද හෝ අතුරුදන් වූ පිරිස කොපමණද යන්න පිළිබඳ පැහැදිලි තොරතුරක් ලබාදීමට බලධාරීන් අපොහොසත් වී තිබේ. ඒ අනුව, යාත්‍රාව තුළ අනවසරයෙන් විශාල පිරිසක් ගමන් කර ඇති බව මේ වනවිට තහවුරු වී තිබේ.
දකුණුදිග ලෙයිටේ පළාතේ, ලයිලෝන් වරායෙන් ගමන් අරඹා තිබූ මෙම මගී ප්‍රවාහන යාත්‍රාව එරට වේලාවෙන් රාත්‍රී 9.20ට පමණ මෙම අනතුරට මුහුණ පා ඇති බව පැවසෙයි.
මෙවැනි යාත්‍රා අනතුරු ගැන පිලිපීනයෙන් නිතර වාර්තා වන අතර, ඒවායෙහි ආරක්ෂාව සම්බන්ධයෙන්ද විවිධ චෝදනා එරටට පවතී. එමෙන්ම, මෑත කාලීනව යාත්‍රා අනතුරුවලින් පුද්ගල ජීවිත රැසක් පිලිපීනයට අහිමි වී ඇත.
අනතුරට පත් මෙම යාත්‍රාව අයහපත් කාලගුණය සමග ඇතිවූ දැවැන්ත රළ පහර සමග හසුරුවාගැනීමට අපොහොසත් වීමෙන් අනතුර සිදුව ඇති බවත්, මුදාගැනීමේ කණ්ඩායම්වලට පවා අයහපත් කාලගුණය හේතුවෙන් ඒ ආසන්නයට යෑමට නොහැකි තත්ත්වයක් පවතින බවත් කියැවෙයි.