ශ්‍රී ලංකාව සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරි නවනීදන් පිල්ලේ සැකසූ වාර්තාවට ඇතුළත් කර ඇති රටට සතුරු තොරතුරු ලබාදුන් පිරිස අතර අමාත්‍ය වරප්‍රසාද භුකිත් විඳින ආණ්ඩුවේ පාර්ශ්වකරුවෙකු වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රසයද සිටින බව අමාත්‍ය විමල් වීරවංශ මහතා අනාවරණය කරයි.
ජාතික නිදහස් පෙරමුණේ නායක, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙම අදහස් පළ කළේ පසුගියදා සීදූව ලියනගේමුල්ල හන්දියේ පැවති ජන හමුවකට එක්වෙමිනි.
“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවි පිල්ලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලබන මාර්තු 26 වැනිදාට, ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කරනු ලබන වාර්තාව සකස් කර අවසන් බව මාධ්‍ය මගින් අනාවරණය කොට තිබුණා. හරියටම වචන දසදහසක වාර්තාවක්ලු. ගාණට කිරලා, මැනලයි හදලා තියෙන්නේ.”
“පිල්ලේ නෝනා, ලංකාවට අවට පස්සේ හසන් අලි ඇතුළු මුස්ලිම් කොංග්රස් නියෝජිත පිරිසක් ඇයව මුණ ගැසුණා. පිල්ලේ නෝනාට ඕන කරන ජාතියේ තොරතුරු මුස්ලිම් කොංග්‍රසයෙන් දීලා. ඒ තොරතුරු දැන් පිල්ලේ නෝනාගේ වාර්තාවටත් දාලා. මුස්ලිම් කොංග්‍රසය පිල්ලේ නෝනලාට රටට හතුරු තොරතුරක් ලබාදෙනවා. මේ අය ආණ්ඩුවේ තියාගෙන ඉන්නවාට එක්කෝ අපිට ගහන්න ඕනෙ. නැත්නම් ආණ්ඩුව ඇතුළේ ඉඳන් මේ කරන පාවාදීමට උන්නැහැලාට ගහන්න ඕනෙ. මේ සිදුවුණු දෙයට අපි දොගොල්ලටම ගැහුවත් කමක් නෑ.” යනුවෙන් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.