ශ්‍රී ලංකාව පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිලේලේ මහත්මිය විසින් සකස් කළ වාර්තාව මාර්තු මස 26 වැනිදා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත බව ජීනිවා නුවරින් වාර්තා වෙයි.
මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරය එළැඹෙන වසරේ මාර්තු මස තුන්වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. එම සැසිවාරය පැවැත්වෙන අතරතුර එනම් මාර්තු මස 26 වැනිදා මහකොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාව පිළිබඳව සකස් කළ වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතය. එය ඔවුන්ගේ න්‍යාය පත්‍රයටත් එක්කර ඇත.
මාර්තු මාසයේදී පැවැත්වෙන්නේ මානව හිමිකම් පිළිබඳ 25 වැනි සමුළුව වන අතර, ශ්‍රී ලංකාව පිළිබඳව සකස් කළ වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.
පසුගිය සැප්තැම්බර් මාසයේ පැවැති 24 වැනි මානව හිමිකම් සමුළුවේදී නවනීදන් පිල්ලේ විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වයන් පිළිබඳව වාචික ප්‍රකාශයක් කරනු ලැබූ අතර, එහිදී ඇය සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ පවතින මානව හිමිකම් ගැටලු විසඳීම සඳහා එළැඹෙන වසරේ මාර්තු මාසය දක්වා කාලසීමාවක් ලබාදෙන බවයි.
ශ්‍රී ලංකාවට හෝ වෙනත් රටකට එරෙහිව යෝජනාවලියක් ගෙන එනවානම් එය බොහෝදුරට සමුළුව අවසානයේදී ඉදිරිපත් කරනු ඇතැයිද ජිනීවා වාර්තා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවලියක් ගෙන එනවානම් ඒ සඳහා බ්‍රිතාන්‍යයේද සහායක් ලැබෙනු ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. නමුත් මෙරටදී පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ මෙරට ගැටලු විසඳීම සඳහා කිසිවෙකුටත් කාලසීමාවක් ලබා දිය නොහැකි බවත්, අපටම අනන්‍යවූ ක්‍රියාවලියක් යටතේ ගැටලු විසඳා ගැනීමට කටයුතු කරන බවයි.