උතුරුදිග ප්‍රංශයේ, රොන් නගරයේ කතෝලික දේවස්ථානයකදී එහි පියතුමන් ගෙල සිඳ මරා දැමූ ඝාතකයන් IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් බව ප්‍රංශ ජනපති ප්රංශුවා හොලන්දේ පවසයි.
84 වැනි වියෙහි පසුවූ ජැක් හැමල් පියතුමා එම දේවස්ථානයේ සුපුරුදු උදෑසන දේව මෙහෙය පවත්වමින් සිටින අවස්ථාවේදී ඊට ඇතුළු වී ඇති ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් දෙදෙනෙකු මෙම ඝාතනය සිදුකර, එහි සිටි තවත් සිවු දෙනෙකු ප්‍රාණ ඇපයට ගෙන තිබුණි.
මෙම ප්‍රහාරය සැලවීමත් සමග එම දේවස්ථානය වට කළ ප්‍රංශයේ විශේෂ පොලිස් කණ්ඩායම් ඝාතකයන් දෙදෙනා වෙත වෙඩි තබා එක් අයෙකු එම ස්ථානයේදීම මරා දමා ඇත. අනෙක් ප්‍රහාරකයා අසාධ්‍ය තත්ත්වයේ රෝහල්ගතව සිටින බව ප්‍රංශ බලධාරීහු පවසති.
මෙම සිද්ධිය සැලවීමත් සමග ප්‍රංශ ජනපති ප්රංශුවා හොලන්දේ සිද්ධිය වූ ස්ථානයට පැමිණ ඉතාම බියගුළු ප්‍රහාරයක් ලෙස මෙම ත්‍රස්ත ප්‍රහාරය හෙළා දැක්කේය. එමෙන්ම, ප්‍රංශය ISඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය මිහිතලයෙන් මුලිනුපුටා දැමීමේ යුද්ධයක් වෙත පැමිණ ඇති බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මේ අතර, වතිකානුවේ අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේද මෙම ප්‍රහාරය හෙළා දැක ඇති අතර, මේ නිරර්ථක අපරාධ හමුවේ වේදනාවටත් තැතිගැන්මටත් පත්ව සිටින බව පවසා ඇත.
මේ අතර, බ්‍රිතාන්‍යයේ නව අගමැතිනී තෙරේසා මේ මෙම ඝාතනය මහත් වූ පිළිකුල දනවන ප්‍රහාරයක් ලෙස හෙළා දැක තිබේ.
මෙම ප්‍රහාරයට පැමිණි ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයෙකු 18 හැවිරිදි අඩෙල් කේ ලෙස දක්වා ඇති අතර, ඔහු වරක් අත්අඩංගුවේද පසුවූවෙකු බව කියැවෙයි. එමෙන්ම, දෙවරක් සිරියාව වෙත යෑමට උත්සාහ කළ අයෙකු බවටද හඳුනාගෙන තිබේ.
මෙම ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී දේවස්ථානය තුළ සිටි ඩැනියෙල් කන්‍යා සොයුරිය පවසන්නේ එම ඝාතකයන් පියතුමාට දනින් සිටින ලෙස බල කළ බවයි. එහිදී, පියතුමා තමාගේ ආරක්ෂාව සලසා ගැනීමට උත්සාහ කළත්, එම ත්රස්තයන් හමුවේ පියතුමාට කළ හැකි කිසිවක් නොවූ බව ඇය කියයි.
එමෙන්ම, මේ ම්ලේච්ඡ සිදුවීම ඔවුන් වීඩියෝ කළ බවත්, පසුව ඔවුන් අල්තාරය වටා යමින් අරාබි භාෂාවෙන් ඔවුන්ගේ දේව මෙහෙයක් පැවැත්වූ බවත් ඇය කියයි. ඒ භීතිය දනවන සිදුවීම අතරතුර, පියතුමා මරාදැමීමට සූදානම් වන අවස්ථාවේදී තමා එම ස්ථානයෙන් පැන ගැනීමට සමත් වූ බවද ඇය කියා සිටියි.
මෙම ප්‍රාණ ඇපකාර සිදුවීමට මුහුණදුන් පුද්ගලයන් සිවුදෙනාගෙන් තිදෙනෙකු නිරුපද්‍රිතව සිටියත්, එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවද ප්‍රංශ බලධාරීහු පවසති.
මෙම ම්ලේච්ඡ ප්‍රහාරය සිදුවී පැය කිහිපයකින් පසුව ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ අමාඛ් පුවත් අඩවිය විසින් තම සොල්දාදුවන් දෙදෙනෙකු විසින් එම ප්‍රහාරය දියත්කළ බව පවසා සිටියේය.
ප්‍රංශයේ බැස්ටයිල් දින අතිශය ඛේදජනක ට්‍රක් රථ ත්‍රස්ත ප්‍රහාරයේ වේදනාව මැකී යන්නටත් මත්තෙන්, එරට ප්‍රබල ආගමික සංවිධානයට එල්ල වූ මෙම ම්ලේච්ඡ ප්‍රහාරය ප්‍රංශය ජනතාව කබලෙන් ලිපට ඇද දැමීමක් ලෙස විදෙස් මාධ්‍ය පවසයි.
.