රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා වැඩි කිරීම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට යෝජනා කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
පානදුර ශ්‍රී සුමංගල පිරිමි විද්‍යාලයේ අලුතින් ඉදිකරන ලද 'සුව පියස' ගොඩනැගිල්ල අද (08දා) දිනවිවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.
“කිසියම් රාජ්‍ය සේවකයෙකු අවුරුදු 60 න් විශ්‍රාම යැවීමේ තීරණයට මම විරුද්ධයි. එය රැකියා වියුක්තියට පිළියමක් විතරයි. අවුරුදු 65දීත් සිය අධ්‍යාපන ඥානය බෙදාදුන් මහාචාර්යවරු කේම්බ්‍රිජ් සරසවියේ සිටිනවා. වයස යනකොට තමයි සිය දැනුම බෙදාදෙන්න පුළුවන්. හැබැයි අපි රාජ්‍ය සේවයේ හොඳම වයසේදී රාජ්‍ය සේවකයින් ගෙදර යවනවා. මම අමාත්‍ය මණ්ඩලයට යෝජනා කරනවා රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා වැඩි කළ යුතුයි කියලා" යනුවෙන්ද හෙතෙම කියා සිටියේය.