පැනමා මුදල් ගනුදෙනුව පිළිබඳව මහ බැංකුව මගින් මේ වනවිට පරීක්ෂණයක් සිදුකරන බවත්, ඉතාම ඉක්මනින් මහ බැංකුව මගින් ඒ පිළිබඳ නිල ප්‍රකාශයක් නිකුත් කරනු ඇති බවත් නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (18දා) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
විදෙස් රටවලට ගොස් ඕනෑම කෙනෙකුට මුදල් ආයෝජනය කළ හැකි අතර, එසේ කළ හැක්කේ ඒ සඳහා මෙරට ආදයම් බදු ගෙවීමෙන් පසු බවද අමාත්‍යවරයා පැවසීය.
එලෙස පැනමාවේ මුදල් තැන්පත් කළ පුද්ගලයන් කවුරුන්ද යන වගත්, ඔවුන් ආදායම් දෙපර්තමේන්තුවට ඒ පිළිබඳ දැනුම් දී තිබුණාද යන වගත් මහබැංකුව මගින් පරීක්ෂණයේදී සොයා බලන බවද මහින්ද සමරසිංහ මහතා කියා සිටියේය.
ඒ අනුව වංචාවක් කර ඇත්තේ කවුරුන්ද යන වග ඉතා ඉක්මනින්ම පැවසිය හැකි වනු ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.තවද ලෝක නායකයන්ගේ සමුළුව සඳහා සහභාගි වීමට ප්‍රථම වතාවට මෙරට රාජ්‍ය නායකයාට අවස්ථාව ලැබී ඇති බවත්, මැයි මාසයේදී ජපානයේ පැවැත්වෙන එයට සහභාගි වීමෙන් රටට ආයෝජන රැසක් ලබාගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ පක්ෂයක සිටිය හැක්කේ නායකයන් දෙදෙනෙකු නොව එක් අයෙකු පමණක් බවයි.
ඒ අනුව නායකත්වයේ සහ මධ්‍යම කාරක සභාවේ තීරණය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැලිය ගාල්ලේදී පවත්වන බවත්, එයට සහභාගි නොවන්නන් පිළිබඳව මෙවර පක්ෂ නායකත්වය මගින් තීරණයක් ගනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.