සේයා සදෙව්මි ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගෙන තම මූලික අයිතිවාසිකම් කඩකළැයි පොලිස්පති ඇතුළු කොටදෙනියාව පොලීසියේ නිලධාරීන්ගෙන් රුපියල් කෝටියක වන්දියක් ඉල්ලා ගම්පහ ප්‍ර‘දේශයේ ප්‍රසිද්ධ ජාතික පාසලක සිසුවෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (04දා) මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනුකළේය.
සේයා දැරියගේ ඝාතනයට අදාළව තමන් අත්අඩංගුවට ගෙන කොටදෙනියාව පොලීසිය සිදුකළ පරීක්ෂණය කුමක්ද යන්න පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියම කරන ලෙස නීතිඥ සාලිය පීරිස් මහතා ඉදිරිපත් කළ එම මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන්ය.
බඩල්ගම, අකරන්ගහ පදිංචි සුරන්ජන් සුදීප් සෙනෙවිරත්න සිසුවා විසින් පවරා ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජිත් උදය කුමාර, මීගමුව ප්‍ර‘දේශය භාර සහකාර පොලිස් අධිකාරී ජයන්ත අතුකෝරළ, රහස් පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත රත්නායක, රහස් පොලීසියේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී.ආර්.එස්.ආර්. නාගහමුල්ල, පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් හා නීතිපතිවරයා නම් කර ඇත.
නීතිඥ සාලිය පීරිස් මහතා මගින් මෙම පෙත්සම ඉදිරිපත් කරන පෙත්සම්හි 2007 වසරේ පැවැති පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුනු 181 ක් ලබාගෙන ගම්පහ බණ්ඩාරනායක විදුහලට ගිය තමා මේ වනවිට 2016 වසරේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අධ්‍යාපනය ලබමින් සිටින බව සඳහන් කොට ඇත.
මේ අතර තම නිවස ආසන්නයේ පදිංචිව සිටි සේයා සදෙව්මි නමැති දැරියක පැහැරගෙන ගොස් මරා දැමීමේ සිද්ධියට අදාළව කොටදෙණියාව පොලීසිය විසින් තමා අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස තමන්ට පහරදුන් බවත්, තමා නිරුවත් කොට තමන්ගේ ඡායාරූප ලබාගත් බවත් එම සිසුවා සඳහන් කර ඇත.
මෙම අපරාධයට කිසිදු සම්බන්ධයක් නොමැති තමා මෙලෙස අත්අඩංගුවට ගෙන පහරදීම තුළින් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයිද, මෙම පහරදීම හේතුවෙන් ඇති වූ රෝගී තත්ත්වයට තමන් මීගමුව හා ගම්පහ රෝහල්වලින් ප්‍රතිකාර ලැබූ බවත් පෙත්සම්කාර සිසුවා පවසයි. එම වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙස රෝහල් බලධාරීන්ට නියම කරන්නැයිද ඔහු පෙත්සමෙන් ඉල්ලා සිටී.
පොලීසිය තමන් අත්අඩංගුවට ගැනීමට තුළින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට ප්‍රකාශයක් කරන ලෙසත් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් තමන්ට රුපියල් කෝටියක වන්දියක් අයකර දෙන ලෙසත් ඔහු සිට පෙත්සමින් ඉල්ලා ඇත.
පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ රුක්ෂාන් නානායක්කාර, ඉරේෂ් සෙනෙවිරත්න, ලිසිත සචින්ද්‍ර සහ තිෂායා වේරගොඩ සමග නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියහ.