20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට එය කඩිනමින් විසුරුවා හැර ආණ්ඩුව මහ මැතිවරණයක් ප්‍රකාශයට පත්කළ යුතු බව පුරවැසි බලය සංවිධානය දැඩිව අවධාරණය කරයි.
ජනාධිපතිවරණයට පෙර පොරොන්දු වූ ආකාරයට ආණ්ඩුව ක්‍රියා නොකරන බවත්, පරාජිතයන් බහුතරයක් රකින පාර්ලිමේන්තුවක් තවදුරටත් පවත්වාගෙන යාමෙන් ජනතා අභිමත බිඳවැටෙන බවත් ඊයේ (23දා) පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළ එම සංවිධාන සාමාජිකයෝ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා මේ වනවිට ගමන්ගන්නේ වැරදි මගක යැයිද ප්‍රකාශ කළහ.
පුරවැසි බලය ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව වෙත අවධාරණය කරන කරුණු අතර, ආණ්ඩුව වහා විසුරුවා හැර කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීම, හදිසි සංවාදයකින් තොරව නව මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කිරීම, ඒ සඳහා දීර්ඝ හා ගැඹුරු සමාජ සංවාදයක් පැවැත්වීම ඇතුළුව නව මැතිවරණ ක්‍රම‘යෙන් පාර්ලිමේන්තු බලය වැඩි නොකිරීම, මන්ත්‍රී ආසන ඉහළ නොදැමීම, මැතිවරණයට වියදම් කළ හැකි මූල්‍යමය සීමාවක් ගෙනඑමින් අපේක්ෂකයන්ගේ වත්කම් සම්බන්ධයෙන් දැඩි රෙගුලාසි යෙදීම පිළිබඳව මූලිකව සඳහන් කරයි.
පුරවැසි බලයේ සම කැඳවුම්කරු කේ.ඩබ්ලිව්. ජනරංජන මහතා ප්‍රකාශ කළේ 20 වැනි සංශෝධනය ගෙනඑන සුළුතර පිරිසක් සිය මතය විචාරයකින් තොරව අනික් සියල්ලන් පිළිගත යුතුය යන බලහත්කාරී මතයේ සිටින බවත්, පාර්ලිමේන්තු ආසන වැඩි කිරීමට නම් ඒ සඳහා සාධාරණ පදනමක් තිබිය යුතු බවත්ය. විසම්මුතික අදහස් දරන සුළු දේශපාලන හා වාර්ගික දේශපාලන පක්ෂ ප්‍රධාන දේශපාලන අවකාශයෙන් එළවා දැමුවහොත් එවැනි පාර්ශ්ව රාජ්‍ය ව්‍යුහයට එරෙහිව සටන් කරනු ඇති බවද හෙතෙම කීය.
මාධ්‍ය හමුවට සහභාගී වූ ගාමිණි වියන්ගොඩ මහතා අදහස් දක්වමින්,
'20 වැනි සංශෝධනය සම්මත කරන්න ඕන කියන කණ්ඩායම්වල දේශපාලන අරමුණ වන්නේ පාර්ලිමේන්තුව තවදුරටත් කල් තබාගැනීමයි. එවිට කල් යාමේදී ආණ්ඩුව ගැන ජනතාව තුළ අප්‍රසාදයක් ඇති කිරීමයි. පසුගිය අවුරුදු ගණනක් ජාතිවාදී, ආගම්වාදී ව්‍යාපෘතියක සිටින පාඨලී චම්පික රණවක හා හෙළ උරුමය රාජ්‍යය ශක්තිමත් විය යුතුයි යන ස්ථාවරයේ සිටින්නේ දීර්ඝකාලීන දේශපාලන සැලැස්මක් අනුව. 19 වැනි සංශෝධනයෙන් ඔවුන් හැකි හැම පියවරක්ම ගත්තේ විධායක ක්‍රමය රැකීමටයි. 18 වැනි සංශෝධනයට අත ඉස්සූ චම්පික විතරයි 17 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට එරෙහි වුණේ. පළාත් සභා සුදු අලියෙකු වුණේ පාලකයිගේ වරදින්. පාර්ලිමේන්තුව ලොකු කරමින් 21 වැනි ශතවර්ෂයේ කුලවාදය මත ඉන්න ආසන වෙනුවෙන් කුලවලට ඉස්සරහට යාමට අප තවත් ඉඩදිය යුතුද? ජාතීන් මිශ්‍ර කිරීමට උවමනා වූ, යෝජනා කළ මිනිසුන් කුලවලට ආසන බෙදන්න යැයි වැඩවසම් සමාජයේ මෙන් පවසනවා. සුළුතර පාර්ශ්ව, පක්ෂ මේ ක්‍රම‘යෙන් පිටමං කිරීමෙන් එල්.ටී.ටී.ඊ.ය නැගිට්ටා. විජය කුමාරතුංග සිරගත කළා. ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළා' යැයි කීය.
20 වැනි සංශෝධනය ප්‍රධාන පක්ෂ දෙකේ එකඟත්වයෙන් සම්මත කරන්නේ නම් පුරවැසි බලය එයට ඉඩ නොදෙන්නේ යැයි මාධ්‍ය හමුවට සහභාගී වෙමින් සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළ අතර, ජෝශප් ස්ටාලින් මහතා පැවසුවේ පරාජිත පාර්ශවයන්ගේ මූලිකත්වයෙන් ගෙනඑන 20 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවත්, නව මැතිවරණ ක්‍රමයක් සඳහා විධිමත්, ගැඹුරු සංවාද පැවැත්විය යුතු බව.්ය.
ලූෂන් බුලත්සිංහ, අනුර බණ්ඩාර රාජගුරු, මහින්ද රත්නායක මහත්වරුන්ද මාධ්‍ය හමුව ඇමතු අතර, රංගන ශිල්පිනී දීපානි සිල්වා මහත්මිය මෙසේ පැවසුවාය.
'මහින්ද, චන්ද්‍රිකා එක්ක ආණ්ඩු පිහිටුවන බවට අප පත්කර ගත් ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීම ගැන කනගාටු වෙනවා. මෛත්‍රීපාල මහතා පඹයකු කරගෙන නටවන්නේ අපි නෙමේ, මහින්ද රාජපක්ෂගේ අය. ජනාධිපතිතුමාගේ නමට එහා ගිය මෛත්‍රී පාලනයක් අපට ඕන. මේ පාර්ලිමේන්තුව අපට අවශ්‍ය නැහැ. අපි එපා කී බහුතරයක් එහි ඉන්නවා. 20 න් මන්ත්‍රී ආසන වැඩි කරගන්නේ සුදුස්සන්ට පත්වීමට නොවේ. යෝජනාව ගේන අයගේ ඥාතීන්ට පාර්ලිමේන්තුවට ඇතුළුවීමටයි. ජනාධිපතිවරයා දැන් අපට ලබා දී ඇති කතා කරන නිදහස අපි සටන් කර දිනාගත් එකක්. මේ පාර්ලිමේන්තුව අපට එපාමයි. තවත් කුණු නොකර පාර්ලිමේන්තුව වහා විසුරුවා හරින්න' යැයි ඇය කීවාය.
ඡායාරූප: ශමීර රාජපක්ෂ