ජනතා තීන්දුවට හිස නමමින් වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(12දා) පැවසීය.
දැනට රටතුළ ඇතිවී තිබෙන අස්ථාවරභාවය වෙනස් කර ගැනීම සඳහා මහ මැතිවරණයක් කැඳවීම අවශ්‍ය වී තිබෙන බවත්,ඒ සඳහා ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළහොත් එයට සහාය ලබාදෙන බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.
එක්සත් ජාතික පක්ෂය සමග හෝ ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් සමග එක්ව ආණ්ඩුවක් පිහිටුවීමට තමන්ට අවශ්‍ය නැති බවද ඒ මහතා කීවේය.
ජනතාව ප්‍රතික්ෂේප කළ ආණ්ඩුවක් සහ විකෘති පාර්ලිමේන්තුවක් දැනට තිබෙන බැවින් ජනතාව නව පාලනයක් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙවර පළාත් පාලන මැතිවරණයේදී සියලු ආසන දිනා ඇති පොදුජන පෙරමුණේ සභාවලට ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් ලබාදී නැති බවත්, එකදු ආසනයක් හෝ දිනා නැති දේශපාලන පක්ෂවලට ලැයිස්තුවෙන් වැඩිපුර මන්ත්‍රීවරුන් ලබා දී තිබෙන බවත්ය.
පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතනවලට සභාපතිවරුන් හා නගරාධිපතිවරුන් පත්කිරීම සඳහා එම අපේක්ෂකයන් සමග සාකච්ඡා කරන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් ජී.එල්.පීරිස්,දිනේෂ් ගුණවර්ධන,විමල් වීරවංශ,උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප ඉසුරු පෙරේරා