පානදුර පිහිටි නෝලිමිට් රෙදිපිළි අලෙවි සැල ගිනි ගැනීමට අදාළව අද (23) දා දිනයේදී නියෝජ්‍ය රසපරීක්ෂකවරයා ඇතුළු විදුලි ඉංජිනේරුවරුන් විසින් එම ස්ථානය පිළිබඳ විශේෂ පරීක්ෂාවකට ලක්කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
පසුගියදා (21දා) අලුයම සිදුවූ මෙම ගින්න පිළිබඳව, ඒ මොහොතේ එම වෙළෙඳසැලේ උඩුමහලේ නැවතී සිටි සේවකයින් 04 දෙනෙකුගෙන් සහ ආරක්ෂක නිලධාරීන් 02 දෙනාගෙන් විශේෂ ප්‍රකාශ ලබාගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
ඇති වූ ගින්න නිසා එම ආයතනය තුළ සහ අවට සවි කර තිබූ ආරක්ෂිත කැමරා සියල්ම ගිනි ගෙන විනාශ වී තිබෙන බවත් එම කැමරාවලින් ලබාදුන් දර්ශන අඩංගු පරිගණකද ගිනිගෙන විනාශ වී තිබෙන බවද ඔහු පවසා සිටියේය.
මේ නිසා පරිගණකවල අඩංගු දෘඪතැටිය (හාඩ්ඩිස්) පරීක්ෂණ පැවැත්වීමට මොරටුව විශ්වවිද්‍යාලයට භාරදුන් බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
සේවකයන්ගෙන් ලබාගත් කටඋත්තරවලට අනුව ගිනිගැනීම සිදුවූ දිනට දින කිහිපයකට පෙර ආයතනයේ විදුලි පරිපථවල අලුත්වැඩියාවක් සිදුකර තිබෙන බවටත් හෙළිවී තිබෙන බවද ඔහු පවසා සිටියේය.
එහෙත් මෙය ස්භාවිකව සිදු වූ ගිනිගැනීමක්ද? සාපරාධී ක්‍රියාවක් ද යන්න පිළිබඳව අනාවරණය කරගැනීමට හැකිවන්නේ රස පරීක්ෂක වාර්තා ලැබුණු පසුව බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
අදාළ ගිනිගැනීම සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රදේශය පුරා විවිධ මත පළවී තිබෙන අතර එහි එක් මතයක් වන්නේ අයාතනය තුළ රැඳී සිටි පිරිස් සාදයක් පවත්වා ඇති බවත් ඔවුන් විසින් පානය කර විසිකර දැමූ සිගරට් කැබැල්ලක් නිසා මෙම ගින්න හට ගෙන ඇති බවත්ය.
එච්. අයි. තුෂාර, ඉන්දික මනෝජ් කුරේ, රෝහණ කාරියවසම්