ඒකාබද්ධ විපක්ෂය යැයි සඳහන් කරනා කණ්ඩායම පාගමන් රටපුරා සංවිධානය කළද දූෂණ විරෝධී වැඩපිළිවෙල ඉදිරියටත් දියත් කරමින් යහපාලන ආණ්ඩුව රටේ වසර 05ක කාලයක් ජාතික ආණ්ඩුවක් ලෙස රටේ පාලනය ඉදිරියට ගෙනයන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
කොළඹ නාලන්දා විද්‍යාලයීය වාර්ෂික රණවිරු සැමරුම් උපහාර උත්සවයට අද (ජූලි 28) සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය ඇමතූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සඳහන් කලේ නීතියේ ආධිපත්‍යය සියළු දෙනාටම පොදු බවයි.
තම එක්සත් ජාතික පක්ෂය නීතියට ගරු කරන බව සඳහන් කල අමාත්‍යවරයා ඒකාබද්ධ විපක්ෂය යැයි හඳුන්වන කණ්ඩායම අතීතයේ මෙන් නොව වර්තමානයේ රටේ නීතියට ගරු කලයුතු බව පැවසීය. එම කණ්ඩායම අද ආරම්භ කල පාගමන රජයට කිසිදු අභියෝගයක් නොවන බව පැවසූ අමාත්‍යවරයා ආණ්ඩු විරෝධී පාගමන් සංවිධානය කිරීමේ යටි අරමුණ වත්මන් රජය සිදුකරන දූෂණ විරෝධී වැඩපිළිවෙල අඩපණ කිරීමට උත්සාහ කිරීම බව එහිදී පැවසීය.