මහා නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන් වැඩකරන බවත්, පක්ෂයට පැමිණි පිරිසට පක්ෂය විනාශ කිරීමට ඉඩ නොතබන බවත් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවැසීය.
මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් සිදු කර ඇති ගැටලුකාරී ඉඩම් පවරාගැනීමක් සම්බන්ධයෙන් අභියාචණාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීමට අද (25දා) සහභාගීවෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
"මට කියන්න කණගාටුයි, අද පාඨලී ඇමතිතුමාත් කරන්නේ ගෝඨාභය මහත්තයා කරපු දේමයි. වේරැස්ගඟ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අවම ඉඩම් ටික විතරක් අරගෙන ඉතුරු ඉඩම් සාමාන්‍ය මිනිස්සුන්ට ආයේ ආපසු දෙන්න කියලා මම කියනවා. පක්ෂයට රිංගාගත්ත අය පක්ෂේ ප්‍රතිපත්ති විනාශ කරන්න හදනවා. ඒකට අපි ඉඩ තියන්නේ නෑ කියලාත් මම කියනවා.
ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා, අපි විපක්ෂයේ ඉන්නකෝට පුළුවන් තරම් කරදර කළා. සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ආණ්ඩුවට පවරා ගත්තා කැලෑ නීතියකින්. ඊට පස්සේ මගේ ඇඟලුම් කර්මාන්ත ශාලා කඩන්න නොයෙක් උත්සාහ ගත්තා. දැන් අපේ ආණ්ඩුවක් ඇවිල්ලත් අපිට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ ඒ වගේ අත්දැකීමකටමයි”
පෙත්සම සලකා බැලු අභියාචණාධිකරණය, අදාළ ඉඩම් ආශ්රිත සිදු කරන සියලු මැදිහත්වීම් පෙබරවාරි මස 5දා දක්වා අත්හිටුවමින් නියෝගයක් නිකුත් කළේය.