ප්රජාතාන්ත්රීය පරිවර්තනයේ පුරෝගාමී චරිතය පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් බව කිසිදු විවාදයකින් තොරව සඳහන් කළ හැකියැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය. සෝභිත හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් අමාත්‍යවරයා මේබව පවසයි. අමාත්‍යවරයාගේ නිවේදනය පහත පරිදිය.
ජාතියේ මුරදේවතාවුන් ලෙස අබිසෙස් ලද මහා සඟ රුවන සතු එම ජීව ගුණය ලාංකීය සමාජය තුළ මෑතකාලීනව මැනවින් ප්‍රකාශ කළේ අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් බව සැක නැතිව අපට ප්‍රකාශ කළ හැක. සෝභිත නායක මාහිපාණන් වහන්සේගේ වසර 60ක ආගමික, ශාසනික සහ ජාතික මෙහෙවර සුවපහසු මාවතක ඇදීගිය එකක් නොව ඉතාම දුෂ්කර වූත්, ඉතාම අවදානම් වූත් කටුක මාවතක සනිටුහන් වූහකි. රටේ ජාතික අවශ්‍යතාවලදී භික්ෂු ගෞරවය ආරක්ෂා වන පරිදි සෑම මොහොතකම නායකත්වය දුන් අප නායක මාහිපාණන් වහන්සේ සැමවිටම අපේක්ෂා කළේ නිදහස් හා සාධාරණ සමාජයකි.
රට තුළ මෑත කාලීනව සිදුවූ ප්රජාතාන්ත්රීය පරිවර්තනයේ පුරෝගාමී චරිතය පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් බව කිසිදු විවාදයකින් තොරව අපට සඳහන් කළ හැක. එමෙන්ම උන්වහන්සේ දශක කිහිපයක් පුරා අමද්‍යප ව්‍යාපාරය මගින් මතින් තොර සමාජයක් වෙනුවෙන් සිදුකළ කැපවීම ප්‍රශංසනීයයි. මාදුළුවාවේ සෝභිත නාහිමියන් කිසිදු දේශපාලන පක්ෂයකට ළැදි භික්ෂූන් වහන්සේ නමක් නොව යහපත් සමාජ පරිවර්තනයක් උදෙසා බලයේ සිටි සියලු දේශපාලන පක්ෂවලට බලපෑම් කළ සංඝ පීතෘ නමකි.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පූජ්‍ය මාදුළුවාවේ සෝභිත මාහිපාණන් පරමාදර්ශී භික්ෂූන් වහන්සේ නමකි. උන්වහන්සේ පටුලාභ අපේක්ෂාවෙන් තොරව සිය භික්ෂු ජීවිතය තුළ සාධාරණ සමාජයක් වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කළ මහා යතිවරයෙකි. උන්වහන්සේ අපේක්ෂා කළ යහපත් දේශපාලන පරමාර්ථ රට තුළ යථාර්ථයක් බවට පත්කිරීමට කැපවීම උන්වහන්සේට සිදුකරන උතුම්ම උපහාරයයි.