පළාත් පාලන මැතිවරණය තවත් මාස තුනකින් කල්යයි
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අනිවාර්යය කොන්දේසියක් වන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම බලාත්මක කිරීමේ ගැසට් නිවේදනය අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් තවත් මාස 03ක කාලයක් සඳහා කල්දමා ඇතැයි කැෆේ සංවිධානය නිවේදනය කරයි.
විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා මෙම කල්දැමීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන් තබා තිබේ.
පළාත් පාලන ඡන්ද විමසීමේ පනතට අනුව අමාත්‍යවරයාට අත්තනෝමතික ලෙස මැතිවරණ කල්දැමීමේ කිසිදු බලයක් නොමැති බවත්, මෙය ලැජ්ජාසහගත ලෙස මැතිවරණ සිතියම හකුළා දැමීමක් වන අතර, ආණ්ඩුවේ ක්‍රියාමාර්ගය හෙළා දකින බවත් කැෆේ සංවිධානය ප්‍රකාශ කරයි.
අදාළ පනත ඊයේ (01දා) සිට ක්‍රියාත්මක වීමට නියමිත තිබූ අතර, එම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබූවේ පසුගිය අප්‍රේල් 07 වැනිදාය. කැෆේ සංවිධානය තවදුරටත් පවසන්නේ, ඉදිරියේදී පැවැත්වීමට නියමිතය පළාත් සභා 03ක (නැගෙනහිර, උතුරු මැද හා සබරගමුව) මැතිවරණද කල්දැමීමට ආණ්ඩුව උත්සාහයක නිරත වෙමින් සිටින බවයි.
පළාත් පාලන මැතිවරණය ඔක්තෝබර් 01 වැනිදාට කල්දැමීමත්, ඔක්තෝබර් 02 වැනිදා පළාත් සභා 03ක ඡන්ද විමසීමට ගැසට් නිවේදන නිකුත් කිරීමට නියමිතව තිබීමත් අහම්බයක් නොවන බවද ඔවුහු පවසති.
2019 නොවැම්බර් හෝ දෙසැම්බර් මස ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව මැතිවරණ කල්දැමීමේ සකලවිධ උපක්‍රම සඳහා යොමුවෙමින් සිටින පාර්ශ්ව වෙත අවධාරණය කරන බවත්, 2019 වසරේ ඔක්තෝබර් හෝ නොවැම්බර් මාසයන්හිදී ජනපතිවරණයක් පැවැත්විය යුතු බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

