පසුගිය ආණ්ඩුව ගොවියාට දුන් දුක ඉදිරි වසර දෙක ඇතුළත අවසන් කරන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා අද (07දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුව කල්තබන අවස්ථාවේදී ඉදිරිපත් කළ වී, තේ, රබර් සඳහා සහතික මිලක් ලබාදීමට රජය මැදිහත් විය යුතු යන විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
අපනයනය ඉදිරි පස් වසර තුළ දෙගුණයක් කිරීමේ අභියෝගය ජයගන්නා බවත්, ගොවියාට සතුට ගෙනන බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.
මේ අතර අදහස් දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ, ලංකාවේ වැඩිම ආචාර්ය උපාධිධාරීන් සිටින කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ ලංකාවේ කෘෂිකර්මය රැකගැනීම පිළිබඳ ආණ්ඩුවට නිසි දැක්මක් නොමැති බවය. ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙක වසර 67 ක පමණ රට පාලනය කළද ගොවියාගේ ප්‍රශ්න විසඳීමට මෙතෙක් ඔවුනට නොහැකි වී ඇති බව පවසමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා දීර්ඝ ලෙස කරුණු දැක්වීය.
අනුර කුමාර මහතාගේ කරුණු දැක්වීමෙන් පසුව නැගී සිටි කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කෘෂිකර්ම උපදේශක කාරක සභාවට එක්වන ලෙස අනුර කුමාර මන්ත්‍රීවරයාගෙන් ඉල්ලීමක්ද කළේය.
අනුර කුමාර මන්ත්‍රීවරයාගේ අදහස් ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙළට එක්කර ගන්නා බව දයා ගමගේ මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.
මෙම විවාදයේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු වී, තේ, රබර් මිල ස්ථාවර කිරීම සඳහාත්, කෘෂිකර්මාන්තය නගාසිටුවීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සහ අදාළ යෝජනා මෙන්ම විවේචනද ඉදිරිපත් කළහ.