යම් ප්‍රදේශයක ඇළ රක්ෂිත සහ ගංගා රක්ෂිතයන්ට හානිවන අයුරින් අනවසර ඉදිකිරීම් හෝ පරිසර හානි සිදුවුවහොත් එම ප්‍රදේශවල සිටින වගකිව යුතු රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජනපති අවධාරණය කරයි.
තම වගකීම් නිසි ලෙස ඉටුකරන රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කිරීමට රජය නිරන්තරයෙන් කැපවී සිටිනවා සේම තම රාජකාරිය නිසි ලෙස ඉටුනොකරන නිලධාරීන්ට එරෙහිව පියවර ගැනීමටද රජය පසුබට නොවන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ ජුනි 05 වැනිදාට යෙදෙන ලෝක පරිසර දිනයට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන ජාතික පරිසර සතිය ප්‍රකාශයට පත්කිරීම සඳහා පොළොන්නරුව සේවාමුක්ත කඳවුර මහා විද්‍යාලයේදී අද (30දා) පෙරවරුවේ පැවති උත්සවයට එක්වෙමිනි.
මැයි මස 30 වැනිදා සිට ජුනි මස 05 වැනිදා දක්වා වූ සතිය ජාතික පරිසර සතිය ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන අතර, ඒ හා සමගාමීව දීපව්‍යාප්තව පරිසර වැඩසටහන් රැසක්ද සංවිධානය කර තිබේ.
දිනෙන් දින ඉහළ යන පරිසර හානිය හේතුවෙන් අද දවසේ මෙන්ම හෙට දවසේ මුළු ලෝකයටම මුහුණදීමට සිදුවන ඛේදවාචකයන් පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා, පරිසරය ආරක්ෂා කර ගනිමින් සංවර්ධන කටයුතු සිදුකිරීම සියලු දෙනාගේ වගකීමක් බවද පවසා සිටියේය.