කොළඹ පිටකොටුව ප්‍ර‘දේශයේ ඇතැම් වීදිවල පදික වේදිකා මත වෙළෙඳාම් කිරීම සඳහා ඉඩදීමට කොළඹ නගරාධිපතිවරයා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කොළඹ නගරයේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ගේ දැඩි අප්‍රසාදය එල්ලවෙමින් පවතී.
මෙලෙස පදික වේදිකා තුළ වෙළෙඳාම් කිරීමට අවසර ලබාදීම තවදුරටත් වර්ධනය වුවහොත් දේශපාලන රැකවරණය සහිත පාතල කණ්ඩායම් බිහි වී සමාජ විරෝධී ක්‍රියා උත්සන්න විය හැකි බව නම හෙළි නොකළ පොලිස් නිලධාරීන් පිරිසක් 'අද' වෙත සිය අදහස් පළකළහ.
කොළඹ නගරයට අයත් ප්‍රධාන පෙළේ පොලිස් ස්ථානයකට අනුයුක්තව සේවය කරන පොලිස් ස්ථානාධිපතිවරයෙකු පැවසුවේ මෙලෙස පදික වේදිකා මත වෙළෙඳාම් කිරීමට ඉඩ සැලැස්වීමෙන් රටේ ව්යවස්ථාපිති නීතී රැසක් උල්ලංඝනය වන බවයි.
බ්‍රිතාන්‍ය සමයේ පනවන ලද දණ්ඩ නීති සංග්‍රහය (Penal Code), පොලිස් ආඥා පනත (Police Ordinance) සහ මංමාවත් පනත (National Thoroughfares Act) ආදී ව්‍යවස්ථාපිත නීතී මේ මගින් උල්ලංඝනය වන බවත්, මහජනතාවට නිදහසේ ගමන් කිරීමට ඇති අයිතිය එක්දහස් අටසිය ගණන්වල එනම්, 19 වැනි සියවසේදී පවා දැඩි ලෙස අවධානයට ලක්කර ඇති බවත් එම ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.
තවද නගරාධිපතිවරයා විසින් පිටකොටුව පළමු, දෙවැනි සහ තෙවැනි හරස් වීදිවල වෙළෙඳාම් කිරීමට අවසර ලබා දී ඇති බවත්, මෙය සීමාසහිත ස්ථානවලට පමණක් සීමා නොකිරීම නිසා ප්‍ර‘දේශයේ ස්ථිර වෙළෙඳ සැල්වලට ගමන් කරන මගීන්ට එම වෙළෙඳ සැල් වෙත ගමන් කිරීම අසීරු වන අන්දමට පදික වෙළෙන්දන් වෙළෙඳාමේ නිරත වන බවත් එම ප්‍රදේශයේ ආවේෂණ රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙක් පැවසීය.
පදික වෙළෙඳාමේ නිරතවන මුවාවෙන් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සහ අසභ්‍ය ප්‍රකාශන අලෙවි කිරීම බහුලව සිදුවන බවට පොලීසිය අනාවරණය කරගෙන ඇතැයිද එම පොලිස් නිලධාරියා පැවසීය.
රටේ ව්‍යවස්ථාපිත නීතීන් උල්ලංඝනය කිරීමට ඉඩ හැරීම වෙනුවට දේශපාලඥයන් සිදුකළ යුත්තේ පදික වෙළෙඳුන්ට වෙළෙඳාමේ නිරතවීමට සුදුසු ස්ථාන ස්ථාපිත කිරීම බව නම හෙළිකිරීමට අකමැති වූ පොලිස් පරීක්ෂකවරයෙක් පැවසීය.
මීට වසර ගණනාවකට පෙර කොළඹ නගරයේ පැවැති අඳුරු තත්ත්වය යළි උදාවීම වැළැක්වීමට පොලිස් නිලධාරීන් දැඩිව කටයුතු කරන බවත්, ඒ සඳහා දේශපාලඥයන්ගේ බලපෑම් අහිතකර ලෙස බලපෑ හැකි බවත් ඔහු වැඩිදුරටත් කීය.
කොළඹ කොටුව සහ පිටකොටුව ප්‍ර‘දේශවල ආවේෂණ රාජකාරියේ නිරත පොලිස් කොස්තාවල්වරයෙකු පැවසුවේ රටේ පිටිසර ප්‍ර‘දේශවල සිට කොළඹ නගරය වෙත පැමිණෙන පිරිස් බොහෝ විට ජනයාගෙන් පිරුණු පදික වේදිකා තුළ ගමන් කිරීමේදී අපරාධවල වින්දිතයන් බවට පත්වන බවයි.