නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය පාලනය හා නඩත්තු කිරීම චීනයට පැවරීම පිළිබඳ කැබිනට් පත්‍රිකාව මේ මස 04 වැනිදා පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර එදිනම සම්මත කරගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සූක්ෂ්ම ආකාරයේ වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය.
චීන ජනාධිපතිවරයා මෙරටට පැමිණීමට පෙර මෙය සිදුකළ යුතු බවට පවසා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ මොහොතේම මෙය සම්මත කරගැනීමට සැලසුම් කර තිබෙන බවත්, මෙම කැබිනට් පත්‍රිකාව සම්මත වූ පසු අප රටට අවශ්‍ය විදුලි පරිභෝජන ප්‍රමාණයෙන් තුනෙන් එකක් මිලදී ගැනීමට සිදුවන්නේ චීනයෙන් බවද ඔහු පවසා සිටියේය.
නඩත්තුව සහ පාලනය චීනයට පැවරූ පසු විදුලිබල මණ්ඩලය චීන බලධාරීන් නියම කරන මිලකට විදුලි ඒකකයක් මිලදී ගත යුතු බවත්, බලාගාරය පැවරීමට සකස් කර තිබෙන ගිවිසුමට අනුව විදුලි බලාගාරය ඉදිකිරීමට චීනයෙන් ගත් සියලුම ණය මුදල් ශ්‍රී ලංකා රජයෙන් ගෙවීමට සිදුවන බවට වාර්තා වන බවත් මන්ත්‍රීවරයා පවසා සිටියේය.
මෙරට ජාතික ආරක්ෂාවට ඉතාමත් වැදගත් සාධකයක් වන විදුලිය සම්බන්ධ තුනෙන් එකක බලය චීනයට පැවරීමත් සමග චීනයට මෙරට රජයට ඕනෑම අවස්ථාවක ඕනෑම බලපෑමක් සිදුකළ හැකි බවත්, ඒ යටතේ චීනය විසින් මෙරට ඉදිකර තිබෙන ඕනෑම ව්‍යාපෘතියක් ඔවුන්ට පවරාගැනීමට හැකිවන බවත් ඔහු සඳහන් කළේය.